ආගමන සහ විගමන පාලකට යළිත් නොතීසි

Image caption වකුගඩු ජාවාරම්කරුවකු යයි සැක කෙරෙන්නෙක් රැඳවුම් කඳවුරින් පළා ගියේය.

වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මිරිහාන විශේෂ කඳවුරේ රඳවා සිටි ඉන්දීය ජාතිකයෙකු පලා යාම පිළිබඳව කරුණු විමසීම සඳහා අද (16) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පෙනී සිටින මෙන් ආගමන සහ විගමන පාලකවරයාට නියෝග කරනු ලැබ තිබුනත් එම නිලධාරියා අද අධිකරණය ඉදිරියේ පෙනී නොසිටියේය.

ඒ අනුව මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය ලබන 24 වන දා අධිකරණ ඉදිරියේ යේ පෙනී සිටින මෙන් ආගමන සහ විගමන පාලකවරයාට නැවත නොතීසි නිකුත් කළේය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සිදු විනැයි පැවසෙන නීති විරෝධී වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්නා ලද ඉන්දීය ජාතිකයන්ට එරෙහිව ශ්‍රී ලංකාවේ දී චෝදනා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි මේ අතර පොලිසිය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේ.

පොලිසිය කියා සිටියේ ආගමන සහ විගමන පනත යටතේ ඉන්දීය සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීමට දැනටමත් තීරණය කර ඇති බවයි.

ඊට අදාලව නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමට කටයුතු කරන බවත් පොලිසිය පවසයි.

එමෙන්ම අත්අඩංගුවෙන් පලා ගිය ඉන්දීය සැකකරු ශ්‍රී ලංකාවෙන් පිටි වී ගොස් තිබේදැයි සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය පොලිසියට දැනුම් දුන්නේය.

සැකකරුවන් ලබන 24 වන දා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කෙරුණ අතර ඔවුන්ගේ ඇප ඉල්ලීම් සලකා බැලීමට මහේස්ත්‍රාත්වරයා එකඟ වූ බවයි විත්තියේ නීතිවේදී ලක්ෂාන් ඩයස් කියා සිටියේ.