ගංවතුර සහ නාය යෑම්වලට හසු වී 'එකොළහක් මරුට'

ගංවතුරට සහ නාය යාම්වලට හසු වී දිවයින පුරා නිවාස එක්දහස් තුන්සීයකට හානි සිදු වී ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි Image copyright Reuters
Image caption ගංවතුරට සහ නාය යාම්වලට හසු වී දිවයින පුරා නිවාස එක්දහස් තුන්සීයකට හානි සිදු වී ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි

දින කීපයක සිට පවතින අධික වර්ෂාව සහ නාය යෑම් හේතුවෙන් පස් දෙනකු අතුරුදහන් වී එකොළොස් දෙනක් මරුමුවට පත් වී ඇති බව බලධාරීහු පවසති.

අඟහරුවාදා උදෑසන කඩුගන්නාව ප්‍රදේශයේ සිදු වූ නාය යාමකට හසු වූ පුද්ගලයන් හය දෙනෙකුගෙන් තිදෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ.

කාන්තාවක් සහ දරුවන් තිදෙනෙකු ඒ අතර සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසීය.

කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක ජල ගැලීම් වාර්තා වේ.

අයහපත් කාලගුණය හේතුවෙන් ලක්ෂ දෙකකට අධික පිරිසක් පීඩාවට පත් වී සිටින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියේය.

ඉන් බහුතරයක් දෙනා කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික ජනතාව බවත් බලධාරීහු පවසති.

ගංගා ගණනාවක ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර ජලාශ කීපයක වාන් දොරටු විවෘත කොට තිබේ.

එම ප්‍රදේශවල වෙසෙන ජනතාව වෙත පූර්ව අනතුරු දැන්වීම් සිදු කොට ඇත.

ගංවතුරට සහ නාය යාම්වලට හසු වී දිවයින පුරා නිවාස එක්දහස් තුන්සීයකට හානි සිදු වී ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශකයකු කියා සිටියේ එක් ලක්ෂ තිස් හතරදහසකට වැඩි පිරිසකට උන්හිටි තැන් අහිමි වී ඇති බවයි.

අවපීඩන කලාපය ශ්‍රී ලංකාවෙන් පිටතට ගමන් කරමින් තිබෙන බවයි මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

පවතින වැසි සහිත කාලගුණය තරමක් අඩු වනු ඇති නමුත් තද සුළං තත්ත්වය දින කිහිපයක් පවතිනු ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර