ගංවතුර ක්‍රමානුකූලව බැස යමින් තිබෙනවා - ඇමති

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් ඇතිවූ ගංවතුර දැන් ක්‍රමානුකූලව බැස යමින් තිබෙන්නේ යයි වාර්තා ලැබෙමින් පවතින බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පවසයි.

අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙමින්.

"වතුර ක්‍රමානුකූලව පහළට එමින් තිබෙනවා, ඒ නිසා විශේෂයෙන්ම ගංගා ද්‍රෝණි වල සුළු ගංවතුර තත්වයක් තියෙනවා," අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පැවසීය.

"මහා ගංවතුර තත්වයක් නෙවෙයි, සුළු ගංවතුර තත්වයක් ඇතිවෙමින් තියෙනවා. ඒ අතරින් කොළඹ, ගම්පහ හා පුත්තලම දිස්ත්‍රික්කය විශේෂයි."

වියලි ආහාර

විපතට පත් පුද්ගලයන් 137000 ක් පමණ ආරක්ෂිත ස්ථානවලට යොමුකර ඔවුන් වෙනුවෙන් වියළි ආහාර ඇතුළු සියලු පහසුකම් සැලසීමට පියවර‍ගෙන ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

"ප්‍රශ්නයක් ඇති නොවී අපිට පුළුවන් වෙලා තියෙනවා, ඒ සැම ස්ථානයකටම පිසූ ආහාර හා වියළි ආහාර ලබාදෙන්න."

අවතැන් වූවන් සඳහා ලබා දෙන වියළි ආහාර දීමනාව රුපියල් 150 සිට රුපියල් 225 දක්වා වැඩි කිරීමටද රජය පියවර ගෙන ඇති බව පැවසූ අමාත්‍යවරයා, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන ආකාරයට ඉදිරියේදී වැසි තත්වය අඩුවිය හැකි බවත් සඳහන් කළේය.

"මෙම පද්ධතිය අද උදැසන ශ්‍රී ලංකාවට උතුරින් දකුණු ඉන්දියාව දෙසට ස්ථානගත වෙලා තියෙනවා. තාමත් එය ශ්‍රී ලංකාවට ආසන්නව තිබෙන නිසා අද දිනයේත් වර්ෂාව ඇතිවුනා. මේ පද්ධතිය සම්පුර්ණයෙන් ඈත් වුනාම තමයි අපට නිදහසක් ලැබෙන්නේ."

යෝග්‍යතා සහතික

නාය යාම් වලට අධික වර්ෂවලට අමතරව ඉහල කඳුකරයේ සිදුවන මිනිස් ක්‍රියාකාරකම් හේතුවී තිබෙන බව පෙන්වාදුන් අමාත්‍යවරයා අවදානම් ස්ථානවල ඉදිකිරීම් සිදුකිරීමේදී ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් යෝග්‍යතා සහතිකය ලබාගැනීම අදාල පළාත් පාලන ආයතන නොසලකා හරින බවත් පෙන්වා දුන්නේය.

ඉදිරියේදී නාය යාම් වැලක්වීම් වස් අවදානම් ස්ථානවල ඉදිකිරීම් සම්බන්ධ නීති දැඩි කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් නිවාස 114ක් සම්පුර්ණයෙන්ම විනාශ වී තිබෙන අතර නිවාස 1711 කට අර්ධ වශයෙන් හානිවී තිබෙන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස සඳහන් කෙළ්ය.

මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, හානි වූ නිවාස සියල්ල රජයේ වියදමින් යළි නිමවන බවටත් ප්‍රතිඥා දුන්නේය.

සියල්ලම රජයෙන්

"ආපදා නිසා සම්පුර්ණයෙන් හානිවූ නිවාස හා අර්ධ වශයෙන් හානි නිවාස යන සියල්ලම නැවතත් වරක් නිවැරදි ස්ථානවල ආපදාවන්ට ලක්නොවන ප්‍රදේශවල ඉදිකරන්න බලාපොරෝත්තු වෙනවා," අමාත්‍ය සජිත් ප්‍රේමදාස පැවසීය.

අතීතයේදී අඩු අදායම් ලාභීන්ගේ නිවාස පමණක් නැවත පිළිසකර කළ නමුත් මෙවර නිවාස සියල්ලම පිළිසකර කිරීමට රජය ඉදිරිපත්වන බවයි ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මේ අතර පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර