අරණායක නාය යාමේ හානිය 'තවමත් කියන්න බෑ'

අධික වර්ෂාව සහ දැඩි සුළං හේතුවෙන් රටපුරාම අයහපත් කාලගුණ තත්වයක් ඇතිවිය
ඡායාරූප ශීර්ෂ වැකිය,

අධික වර්ෂාව සහ දැඩි සුළං හේතුවෙන් රටපුරාම අයහපත් කාලගුණ තත්වයක් ඇතිවිය

කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක එලඟපිටියේ බරපතල නාය යාමකින් අනතුරුව අවතැන් වූ ජනතාව ප්‍රදේශයේ බෞද්ධ විහාරස්ථානයේ සහ පාසලේ රඳවා සිටින බව වාර්තාකරුවෝ පවසති.

මේ වනවිට පවතින දැඩි අඳුර සහ දැඩි වර්ෂාපතනය හේතුවෙන් එම ස්ථානයට ළඟාවීම ඉතා දුෂ්කර බව පවසන කෑගල්ල ප්‍රාදේශීය වාර්තාකරු සාලිය සමසිංහ, එබැවින් නාය යාමෙන් ඇති වූ හානිය තක්සේරු කිරීමේ හැකියාවක් නොමැති බවත් පැවසීය.

එලඟපිටියේ වතුකරයේ පවුල් 258 ක් වාසය කරන බව වාර්තා වී ඇති බවත් ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න කළ විමසීමකදී සාලිය සමසිංහ සඳහන් කළේය.

බේරා ගැනීමේ මෙහෙයුම්

එම ස්ථානයට ළඟාවීමට උත්සාහ දරමින් සිටින හිටපු නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක බීබීසී සංදේශයට කියා සිටියේ පවුල් 100 කට ආසන්න පිරිසක් නාය යාමට ගොදුරු වී ඇතැයි විශ්වාස කෙරෙන බවයි.

නාය යාමට ලක්වුණු පල්ලෙබාග ප්‍රදේශය සන්නයේ සිට බීබීසී සංදේශයේ පවිත්‍රා පෙරේරා සමඟ අදහස් දැක්වූ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා, ඒ අවස්ථාවේ පවා ගල් පෙරලෙන ශබ්ද තමන්ට ඇසෙන බවත් සඳහන් කළේය.

මීරියබැද්ද ගම්මානයේ නාය යාමෙන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත් විය

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය,

2014 ඔක්තෝබරයේදී මීරියබැද්ද ගම්මානයේ නාය යාමෙන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත් විය

අනතුරෙන් කිසිවෙකු ජීවිතක්ෂයට පත්වූයේද හෝ තුවාල ලැබුවේද යන්න මෙතෙක් අනාවරණය වී නැති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි බීබීසී සංදේශයට කියා සිටියේ.

නිවාසවලට සිදු වූ හානිය පිළිබඳවත් මෙතෙක් පහැදිලි තොරතුරු ලැබී නැති බවත් ඔහු පැවසීය.

බේරා ගැනීමේ මෙහෙයුම් ආරම්භ වී ඇති අතර, යුද හමුදා භටයන් 150 ක් පමණ, රෝහල් කාර්ය මණ්ඩල සහ පොලිසියද අනතුරට ලක්වූවන්ගේ ජීවිත බේරාගැනීමේ උත්සාහයක නිරත වී සිටිති.

එමෙන්ම අනතුරට ලක්වූවන්ගේ ජීවිත බේරාගැනීම පිණිස ගුවන් හමුදාවේ ආධාර පතා තිබෙන බවත් බලධාරීහු පවසති.