නාය යෑම්: අරණායක වැළලී ගිය නිවාස 'හැට හයක් හඳුනා ගැනේ'

නාය යෑම් Image copyright powermin.gov.lk
Image caption නාය යාමට හසු වී වැළලී ගිය නිවාස 66 ක් හමුදා සාමාජිකයන් විසින් හඳුනා ගනු ලැබ ඇති බව කියා සිටි හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා එම අගය බෙහෙවින් ඉහළ හා හැකි බව සඳහන් කළේය.

අරණායක නාය යාමට ලක් වූ ප්‍රදේශයේ සහන කටයුතු සඳහා හමුදා සාමාජිකයන් තුන්සීයකට වැඩි පිරිසක් යොදවා ඇති බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර පවසයි.

බදාදා උදෑසන මළ සිරුරු හතක් සොයා ගැනීමට හැකි වූ බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා බීබීසීයට කියා සිටියේ.

150 ආසන්න පිරිසක් ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන ගොස් ඇති බවත් ඔහු සඳහන් කළේය.

දරුණු නාය යාමකට හසු වූ අරණායක සිරිපුර, පල්ලෙබාගේ සහ එළඟිපිටිය යන ගම්මානවලට අයත් පවුල් දෙසීයක් පමණ නාය යාමට ගොදුරුව අතුරුදන් වී ඇති බවට ශ්‍රී ලංකා රතුකුරුස සමාජය බිය පළ කරයි.

නමුත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශකයකු පැවසුවේ එතරම් පවුල් සංඛ්‍යාවක් අතුරුදහන් වී සිටීදැයි යන්න නිශ්චිතවම කිව නොහැකි බවයි.

නාය යාමට හසු වී වැළලී ගිය නිවාස 66 ක් හමුදා සාමාජිකයන් විසින් හඳුනා ගනු ලැබ ඇති බව කියා සිටි හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා එම අගය බෙහෙවින් ඉහළ හා හැකි බව සඳහන් කළේය.

Image caption අරණායක වැළලී ගිය නිවාස 'හැට හයක් හඳුනා ගැනේ'

මේ අතර බුලත්කොහුපිටිය ප්‍රදේශයේ සිදු වූ නාය යාමට හසු වූ පුද්ගලයන් අතුරින් තිදෙනකුගේ මළ සිරුරු සොයා ගෙන ඇති බවත් තවත් දාසය දෙනකුවත් අතුරුදහන් වී සිටින බවත් පොලිසිය තහවුරු කරයි.

දින තුනක් පුරා දිවයිනේ බොහොමයක් ප්‍රදේශවල පැවති අධික වර්ෂාව හමුවේ ඇතිවූ හදිසි ජල ගැලීම් සහ නාය යෑම්වලට ගොදුරු වී විසි පස් දෙනකුට අධික පිරිසක් මරුමුවට පත් වී ඇති බව නිල සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.

බදාදා උදෑසන වන විට ගංවතුර හේතුවෙන් පුද්ගලයන් තුන්ලක්ෂ පනස් දහසකට ආසන්න පිරිසක් අවතැන් වී සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර