අරණායකින් මළ සිරුරු 13ක්, '75 ක් ගැන තොරතුරක් නැහැ'

අරණායකින් මළ සිරුරු 13ක්, '75 ක් ගැන තොරතුරක් නැහැ'
ඡායාරූප ශීර්ෂ වැකිය,

'දැනට මිය ගිය අයගේ සිරුරු දහතුනක් සොයා ගෙන තිබෙනවා. ඊට අමතරව අපට වාර්තා වෙලා තිබෙනවා තව හැත්තෑ පස් දෙනකුගේ තොරතුරු තවමත් සොයා ගැනීමට නැහැ කියලා'

අරණායක නාය යෑමට ගොදුරු වූ ප්‍රදේශයේ සිටි බවට විශ්වාස කෙරෙන හැත්තෑ පස් දෙනකු පිළිබඳ තොරතුරක් ලැබී නොමැති බව තමන්ට වාර්තා වී ඇතැයි එම ස්ථානයේ සිටින බස්නාහිර ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ පවසයි.

මේ වන විට නාය යාමට හසු වූ පුද්ගලයන්ගෙන් දහතුන් දෙනකුගේ මළසිරුරු සොයා ගෙන ඇති බවයි ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ බීබීසී සංදේශයට කියා සිටියේ.

'දැනට මිය ගිය අයගේ සිරුරු දහතුනක් සොයා ගෙන තිබෙනවා. ඊට අමතරව අපට වාර්තා වෙලා තිබෙනවා තව හැත්තෑ පස් දෙනකුගේ තොරතුරු තවමත් සොයා ගැනීමට නැහැ කියලා' ඔහු සඳහන් කළේය.

ආරක්‍ෂිත ස්ථානවල කඳවුරු හතරක් ස්ථාපිත කොට ඇති බවත් එම කඳවුරු තුළ එක්දහස් එකසිය හතළිස් දෙනකුට අධික පිරිසක් රැඳී සිටින බවත් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ වැඩිදුරටත් කියා සිටියේය.