අලි පැටියා ගැන කීමට පොලිසියට නොපැමිණි මහේස්ත්‍රාත්ට නොතීසි

Baby Elephant court case

ව්‍යාජ බලපත්‍රයක් මත අලි පැටවෙකු සන්තකයේ තබාගත් සිද්ධියක් සම්බන්ධයෙන් රහස් පොලිසියට ප්‍රකාශයක් ලබා දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තිළින ගමගේට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (බදාදා) නොතීසියක් නිකුත් කළේය.

රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ ව්‍යාජ බලපත්‍රයක් මත අලි පැටවෙකු සන්තකයේ තබාගත් සිද්ධියක් සම්බන්ධයෙන් තිළින ගමගේ මහේස්ත්‍රාත්වරයා සැකකරුවෙකු ලෙස නම්කර තිබෙන අතර ඊට අදාලව කට උත්තරයක් සටහන් කර ගැනීම සඳහා පොලිසිය හමුවේ පෙනී සිටින්නැයි දෙවතාවක් තිළින ගමගේ මහේස්ත්‍රාත්වරයාට දන්වා තිබුනද ඔහු රහස් පොලිසිය හමුවේ පෙනී නොසිටි බවයි.

මේ හේතුවෙන් රහස් පොලිසිය හමුවේ පෙනී සිට කට උත්තරයක් ලබාදෙන ලෙස තිළින ගමගේ මහේස්ත්‍රාත්වරයාට නියෝග කරන නොතිසියක් නිකුත් කරන ලෙසයි පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

ඉල්ලීම පිළිගත් අධිකරණය ලබන 25 වනදා රහස් පොලිසිය හමුවේ පෙනිසිට ප්‍රකාශයක් ලබා දෙන්නැයි අතිරේක මහේස්ත්‍රාත් තිළින ගමගේට නියම කළේය.