පකිස්තාන රජය වෙසක් උළෙලක් සංවිධානය කරයි

Image caption ඇෆ්ගනිස්ථානයේ පැවති වෙසක් උත්සවයක අවස්ථාවක්

මැයි 29 වෙනිදා සිට ජූනි මස පළමු වැනිදා දක්වා පාකිස්තානයේ පැවැත්වෙන වෙසක් උත්සවය සඳහා සහභාගීවන ලෙස ශ්‍රී ලංකාවේ භික්ෂුන්වහන්සේලා ඇතුළු 50 දෙනෙකුගෙන් යුත් දුත පිරිසකට තම රටට එන ලෙස පකිස්තානයෙන් ආරාධනයක් ලැබී තිබේ.

පාකිස්තාන ජාතික උරුමයන් පිලිබඳ අමාත්‍ය ඉර්ෆාන් සිද්ධික් විසින් එවැනි ආරාධනයක් කර ඇති බව ප්‍රකාශ කරනු ලැබුවේ අද(19) පාකිස්තානයේ තක්ෂිලා කෞතුකාගාරයේ පැවති උත්සවයකදී.

වෙසක් උත්සවය වෙනුවෙන් මැයි මස 21 වැනිදා සිට ජුනි මස 30 වැනිදා දක්වා ශ්‍රී ලංකාව පුරා ප්‍රදර්ශනය කිරීමට නියමිත සර්වඥ ධාතුන්වහන්සේලා පාකිස්තානය විසින් එම උත්සවයේ දී ශ්‍රී ලංකාව වෙත භාර දී තිබුණි.

පකිස්තාන රජය වෙනුවෙන් එරට ඉතිහාසය සහ ජාතික උරුමයන් පිලිබඳ අමාත්‍ය ඉර්ෆාන් සිද්ධික් විසින් මෙම සර්වඥ ධාතු තක්ෂිලා කෞතුකාගාරයේ දී වනජීවී සංරක්ෂණ අමාත්‍ය ජයවික්‍රම පෙරේරා ට භාරදී ඇත.

නුගේගොඩ නාලන්දාරාමාධිපති අතිපුජ්‍ය තිනිවල පාලිත හිමි, පකිස්ථානයේ ශ්‍රී ලංකා තානාපති මේජර් ජෙනරාල් ලොකුකැටගොඩගේ, බුද්ධශාසන අමාත්‍යංශයේ ලේකම් වසන්ත ඒකනායක, ශ්‍රී ලංකාවේ පකිස්තාන මහා කොමසාරිස් ජෙනරාල් ශකීල් ඇතුළු ගිහි පැවිදි පිරිසක් මෙම උත්සවය සඳහා සහභාගී වී සිටියහ.

මෙම සර්වඥ ධාතු ශ්‍රී ලංකාවට ලබා දීම මගින් අතීතයේ පටන් දෙරට අතර පැවති සංස්කෘතික සබඳතා අලුත්වී ඇති බවයි පකිස්තාන අගමැතිගේ උපදේශකවරයා ප්‍රකාශ කළේ.

පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් 2016 ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ කළ සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස මෙම සර්වඥ ධාතු ප්‍රදර්ශනය සංවිධානය වූ බවයි ඔහු වැඩි දුරටත් පැවසුවේ.