ව්‍යසනය හමුවේ සමාජ මාධ්‍ය ජාලවල මානුෂික මෙහෙයුම

ආධාර ලබාදීමට සූදානම් බව පවසමින් ට්විටර් ජාලය ඔස්සේ හුවමාරු වන පණිවුඩ

ඡායාරූප මූලාශ්‍රය, Twitter

ඡායාරූප ශීර්ෂ වැකිය,

ආධාර ලබාදීමට සූදානම් බව පවසමින් ට්විටර් ජාලය ඔස්සේ හුවමාරු වන පණිවුඩ

රට පුරා ප්‍රදේශ ගණනාවක සියයකට ආසන්න පිරිසකට මරු කැඳවමින් සහ ලක්ෂ සංඛ්‍යාත ජනකායක් අනාථයන් බවට පත්කරමින් හටගත් ගංවතුරෙන් සහ නාය යාම්වලින් අනතුරුව පීඩාවට පත්වූවන්ට ආධාර කිරීම පිණිස සියලු රටවැසියෝ ජාති, ආගම් භේදවලින් තොරව එකමුතු වී සිටිති.

විශේෂයෙන්ම පීඩාවට පත්වූවන්ට ආධාර බෙදාදීමේදී මෙන්ම අනතුරට ගොදුරු වූවන් බේරාගැනීමේ කාර්යයේදී සමාජ මාධ්‍ය ජාල ඉටු කරමින් සිටින සුවිශේෂී කාර්යභාරය කැපී පෙනෙන්නක්.

ආධාර රැස් කිරීම පිණිස, කිසිවකු බේරා ගැනීමට අවශ්‍ය බව පවසමින්, ලැබුණු ආධාර බෙදාදීමට උපකාර පතමින්, අතුරුදහන් වූවන් පිළිබඳව තොරතුරු සොයමින් සහ අවතැන් වූවන්ට ඖෂධ හෝ වෙනත් ආධාර අවශ්‍ය නම් දැනුම් දෙන මෙන් ඉල්ලා සිටිමින් විවිධ පණිවුඩ සමාජ ජාල ඔස්සේ තවමත් හුවමාරු වෙමින් පවතී.

අවතැන් වූවන්ට ආධාර පතමින් ෆේස්බුක් ජාලය ඔස්සේ හුවමාරු වන පණිවුඩ

ඡායාරූප මූලාශ්‍රය, Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය,

අවතැන් වූවන්ට ආධාර සැපයීම පිණිස සහාය පතමින් ෆේස්බුක් ජාලය ඔස්සේ හුවමාරු වන පණිවුඩ

අවතැන් වූ සිය රටවැසියන්ට ආධාර කරන ආකාරයක් තිබේ නම් දැනුම් දෙන මෙන් ඉල්ලා සිටිමින් විදේශගත ශ්‍රී ලාංකිකයෝ බීබීසී සංදේශයේ අප වෙතත් ඉල්ලීම් යොමු කළහ.

මීට දශකයකට පමණ ඉහත දී සුනාමි ව්‍යසනය අවස්ථාවේ සමස්ත ශ්‍රී ලංකාවාසීන්ම සියලු භේද ඉවත දමා එකමුතු වූ ආකාරයෙන්ම මෙවරත් ඔවුන් ව්‍යසනයේදී එකාවන්ව අත්වැල් බැඳ ගෙන සිටින ආකාරය බොහෝ දෙනාගේ ප්‍රසංශාවට ලක් වී තිබේ.

ගංවතුරට කොටු වූ නිවසින් පිටව යාමට කානතාවකට ආධාර කරන පිරිසක්

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය,

සුනාමි ව්‍යසනයේදී මෙන්ම ගංවතුර ආපදාවෙදීත් ශ්‍රී ලංකාවාසීහු සියලු භේද අමතක කොට අවතැන්වූවන්ට පිහිටවීමට ඉදිරිපත් වූහ

බේරා ගැනීමේ සහ මළ සිරුරු ඉවත් කිරීමේ කටයුතුවල නිරත වූ ත්‍රිවිධ හමුදාවට ප්‍රණාමය පුද කෙරෙන අතරවාරයේ, නිරන්තරයෙන් ජනතා විවේචනයට ලක්වන පොලිසියත් ජනතාවගේ දැඩි ප්‍රශංසාවට ලක්වීම මේ ව්‍යසනයේ දක්නට ලැබුන තවත් විශේෂ ලක්ෂණයක්.

ශ්‍රී ලංකාවාසීන් විශාල පිරිසක් වේදනාබර අත්දැකීමට මුහුණ දී සිටින අතරවාරයේ, එංගලන්ත කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම යළි දක්ෂතා අතරට පැමිණීම අගය කිරීමටත් සමාජ මාධ්‍ය ජාලවල හැසිරෙන්නෝ අමතක නොකළහ; ගංවතුරේ ක්‍රිකට් ක්‍රීඩා කරන තරුණයන් දෙදෙනකුගේ ඡායාරූපයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බෙදා හැර තිබුණි.

ගංවතුරේ ක්‍රිකට් ක්‍රීඩා කරන තරුණයන් දෙදෙනක්

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Cricket

ඡායාරූප ශීර්ෂ වැකිය,

ගංවතුරේ ක්‍රිකට් ක්‍රීඩා කරන තරුණයන් දෙදෙනකුගේ ඡායාරූපයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බෙදා හැර තිබුණි

මීට වසර හතකට ඉහතදී ලක්ෂ සංඛ්‍යාත දෙමළ ජනතාව යුද්ධයට මැදි වී සිටියදී දකුණේ ජනතාවගෙන් මේ මිනිසත්කම මතු නොවුයේ මන්දැයි ඒ අතර විවේචනයක්ද එල්ල වී තිබුණි.

සමාජ මාධ්‍ය ජාලාවල හැසිරෙන බොහෝ දෙනා සහ බොහෝ ජනමාධ්‍ය ඉතා වගකීමෙන් යුතුව තොරතුරු බෙදා ගනිද්දී, ඛේදවාචකයක් පවතින අවස්තාවක ඉතා සුළු පිරිසක් පමණක් අසත්‍ය කට කතා පතුරවමින් ජනතාව බියගන්වමින් සිටින බව නිවේදනයක් නිකුත් කරමින් පවසන ජනමාධ්‍ය කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, එයින් වලකින මෙන් ඉල්ලීමක් කරයි.

ආපදාවට මුහුණ දුන් සිය රටවැසියන්ට ආධාර, උපකාර කරන අතරම කිසියම් ලෙසකින් එය මීට වඩා ක්‍රමවත්ව සහ සංවිධානාත්මකව සිදුවිය යුතුව තිබුණු බව සමහරුන්ගේ අදහස වී තිබේ.

රෝගීන් ට උපකාර කිරීමට ඉදිරිපත් වූ ආයතන

ඡායාරූප මූලාශ්‍රය, Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය,

අවතැන් වූවන් අමතමින් හුවමාරු වන පණිවුඩ

අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ආධාර ලැබුන බව බලධාරීන් පවසද්දීත්, එකම ස්ථානයකට ආධාර ගොඩ ගැසීමට උත්සාහ කිරීමත්, ඉදිරිය ගැන සිතා වියලි ආහාර ලබා දෙනු වෙනුවට බොහෝ දෙනා පිසූ ආහාරම පිරිනැමීමත් විවේචනයට ලක් වී තිබුණි.

එමෙන්ම බේරා ගැනීමේ සේවකයන්ගේ ප්‍රයත්නයන්ට බාධා කරමින්, ගංවතුර සහ නාය යාමේ හානිය 'නැරඹීමට' බොහෝ දෙනා එම ස්ථානවලට රැස් වන බව තවත් විවේචනයක්.

ආපදාවකට මුහුණ දුන් සිය රටේම සොයුරු සොයුරියන්ට ඇප උපස්ථාන කිරීමට නොමසුරුව ඉදිරිපත් වීම ඉහලින් අගයන අතරම, සිය හැසිරීම මගින් ආපදාවට ලක්වූවන්ට හිරිහැරයක් සිදුවන්නේද යන්නත් විපතේදී එකමුතු වන ශ්‍රී ලංකාවාසීන් දෙවරක් සිතා බැලිය යුතු බවත් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අදහස් දක්වන ඇතැමුන්ගේ මතයයි.

ගංවතුරට කොටු වූ කාන්තාවක් බේරා ගන්නා ශ්‍රී ලංකා හමුදාව

ඡායාරූප මූලාශ්‍රය, Lakruvan Wanniarachchi/ Getty

ඡායාරූප ශීර්ෂ වැකිය,

බේරා ගැනීමේ සහ මළ සිරුරු ඉවත් කිරීමේ කටයුතුවල නිරත වූ ත්‍රිවිධ හමුදාවට මෙන්ම පොලිසියටද ජනතාවගේ ප්‍රණාමය පළ විය