කෑගල්ලේ පාසල් 19 ක් නාය යාමේ අවදානමක

ශ්‍රී ලංකාවේ පාසල් දරුවෝ
ඡායාරූප ශීර්ෂ වැකිය,

සබරගමු පළාතේ පාසල් හැර දිවයිනේ අන් සියලු පාසල් සඳුදා යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි

කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් දහ නවයක් නාය යාමේ අනතුරක් පවතින බව ප්‍රාදේශීය අධ්‍යාපන බලධාරීහු පවසති.

එබැවින් එම පාසල් ඇතුලුව සබරගමු පළාතේ පාසල් පනස් දෙකක් දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කළ බවද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේය.

මෙසේ වසා දමා තිබෙන්නේ නාය යාම් සහ ස්වභාවික විපත් හේතුවෙන් අවතැන් වූ ජනතාවට නේවාසික පහසුකම් ලබාදෙමින් දැනටමත් අවතැන් කඳවුරු ලෙස පවත්වාගෙන යන කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක දෙකේ පාසල් තිස් එකක් සහ කෑගල්ල නාය යාමේ අවදානම පවතින පාසල් දහ නවය බව පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද එස් වීරසූරිය පැවසීය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල අධ්‍යාපන කලාපයේ පාසල් විසි දෙකක්, දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ පාසල් දාහතක්, කෑගල්ල අධ්‍යාපන කලාපයේ පාසල් හතක් සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර අධ්‍යාපන කලාපයේ පාසල් හයක් මෙසේ දින නියමයකින් තොරව වසා දමා තිබේ.

ඡායාරූප ශීර්ෂ වැකිය,

අයහපත් කාලගුණය හේතුවෙන් රට පුරා සියලු පාසල් බ්‍රහස්පතින්දා සිට වසා දැමිණ

එම පාසල් හැරුණු විට අයහපත් කාලගුණය හේතුවෙන් මෙතෙක් වසා දමා තිබුණු දිවයිනේ අනෙක් සියලුම පාසල් සඳුදා යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

රට පුරා දිස්ත්‍රික්ක ගණනාවක හටගත් ගංවතුර සහ අරණායක ඇතුළු ප්‍රදේශවල හටගත් නාය යාම් හේතුවෙන් ශ්‍රී ලංකාව පුරා සියලු පාසල් වසා දමන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් බ්‍රහස්පතින්දා නිවේදනය කළේය.

මේ අතර රත්නපුර දිස්ක්‍රික්කයේ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වළදුර, දෙල්වලමුකලාන කන්ද නායයාමේ අවදානමක් ඇති බැවින් කන්ද පහළ පිහිටි මිල්ලගස්තැන්න, විතානකන්ද සහ වළදුර යන ගම්වල පදිංචි පවුල් හැටක් ඉවත් කළ බව රත්නපුර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය බීබීසී සංදේශයට පැවසීය.

නාය යාමේ අවදානමට ලක්ව තිබෙන්නේ ආසියාවේ ආදිම මානවයා විසු බව සැලකෙන බටදොඹ ලෙනට පහළ ප්‍රදේශය බව අජිත්ලාල් ශාන්ත උදය වාර්තා කරයි.

ඉවත් කළ පිරිස කුරුවිට එක්නැලිගොඩ විද්‍යාලයේ රඳවා සිටිති.