විදෙස් මාපියන් ගේ ලක් දරුවෝ එක්වෙති

Image copyright Lankan AFFAIRS
Image caption ටීම් දුර්කස්ත්රා (සාමාජික) නිමල් සමන්ත (සභාපති) චමිලා දිල්රුක්ෂි (ලේකම්) ඊස්තර් වැන් දර් (සාමාජික) වුටෙර් පොස්ට්මා (භාණ්ඩාගාරික)

ලෝකය පුරා වෙසෙන 'විදේශීය දෙමව්පියන් විසින් හදාවඩාගත් ශ්‍රී ලාංකික දරුවන්' එකමුතු කෙරෙන නව සංවිධානයක් බිහිවී තිබේ.

'ලන්කන් එෆෙයාර්ස්' (Lankan Affairs) නමින් හැඳින්වෙන මෙම නව සංවිධානය ආරම්භ කර ඇත්තේ දරුකමට හදා වඩා ගැනීම සඳහා 1983 වර්ෂයේ දී නෙදර්ලන්තයට රැගෙන ගිය නිමල් සමන්ත වෑන් ඔර්ට් විසින්.

3,500 කට වැඩි පිරිසක්

නෙදර්ලන්තයේ පමණක් එවැනි දරුවන් 3,500 කට වැඩි පිරිසක් සිටින අතර එළැඹෙන ජූනි මස 11 වෙනිදා ශ්‍රී ලංකා තානාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 'ලන්කන් එෆෙයාර්ස්' සංවිධානයේ වැඩකටයුතු නිල වශයෙන් දියත්කිරීම සඳහා විශේෂ උත්සවයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

2016 වසරේ මාර්තු 31 වැනිදා අංක 65724518 යටතේ නෙදර්ලන්තයේ දී ලියාපදිචි කර ඇති මෙම සංවිධානයේ අරමුණ වන්නේ ලොවපුරා වෙසෙන විදේශීය දෙමව්පියන් විසින් හදාවඩාගත් ශ්‍රී ලංකික දරුවන් එකිනෙකා සම්බන්ධකරවීමත්, ඔවුන්ට තමන් මෙලොවට බිහිකළ දෙමව්පියන් හඳුනා ගැනීමට උදව් කිරීමත්, ශ්‍රී ලංකා රජය සහ ඔවුන් අතර සම්බන්ධතාවය ඇතිකිරීමත් යන මුලික කරුණු බවයි නිමල් සමන්ත පවසන්නේ.

එසේම සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා පරිවර්තන සේවාවක් ඇරඹීම සහ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට, වෙළඳ සහ ව්‍යාපාර කටයුතු වලට මෙන්ම සමාජ සහ මානවීය ආධාර වැඩසටහන් වලට දායක වීම වැනි කරුණු ද සිදුකෙරෙනු ඇති බවයි ඔහු පැවසුවේ.

තවත් රටවල

'ලන්කන් එෆෙයාර්ස්' මගින් නෙදර්ලන්තයේ වෙසෙන විදෙස් මාපියන් සෙවනේ හැදී වැඩුණු දරුවන් ගේ සංවිධානයක් පිහිටුවා ඇති අතර බෙල්ජියම, ප්‍රංශය, ස්පාඤ්ඤය, ස්වීඩනය, නොර්වේ ඔස්ට්‍රේලියාව සහ ස්විස්ටර්ලන්තය යන රටවල ද එවැනි සංවිධාන ආරම්භ කිරීමේ කටයුතු කෙරෙමින් පවතින බවයි එම සංවිධානය වැඩි දුරටත් සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකා රජය සමග සම්බන්ධතා ශක්තිමත් කර ගැනීම පිණිස දැනටමත් නිමල් සමන්ත විසින් නෙදර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපතිවරයා, අග්‍රාමාත්‍ය කාර්යාලයේ සම්බන්ධීකරණ ලේකම්වරයා සහ සංචාරක කටයුතු පිලිබඳ අමාත්‍යවරයා සමග ද සාකච්ඡා පවත්වනු ලැබ තිබේ.

ජූනි 11 වැනිදා නෙදර්ලන්තයේ Utrecht හි 'ඔර්කිඩ් ලවුන්ච්' ශාලාවේ පැවැත්වෙන නිල උත්සවයට පසු ශ්‍රී ලංකික කෑම බීම හා රසකැවිලි මෙන්ම ශ්‍රී ලංකික සංගීතය රසවිඳීමේ අවස්ථාවද පැමිණෙන්නට හිමිවන බවයි වාර්තාවන්නේ.

බීබීසී යෙන්