ගංවතුරෙන් නැගිටීමට 'රුපියල් කෝටි 25,000 ක්'

ගංවතුරෙන් හානියට පත් නිවාස පේලියක් Image copyright Getty Images
Image caption 'ගංවතුර සහ නාය යාම්වලින් පීඩාවට පත් වූ ජනතාවගේ ජිවිත යළි නගා සිටුවීම පිණිස රුපියල් කෝටි 15,000 ත් 25,000 ත් අතර මුදලක් අවශ්‍යයි'

ගංවතුර සහ නාය යාම්වලින් පීඩාවට පත් වූ ජනතාවගේ ජිවිත යළි නගා සිටුවීම පිණිස රුපියල් කෝටි 15,000 ත් 25,000 ත් අතර මුදලක් වැය වනු ඇති බව මුදල් අමාත්‍ය රවි කරුණානායක පවසයි.

අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ ආපදා තත්වය පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස කැඳවා තිබුණු කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින්.

"රජයක් ලෙස මේ ජනතාවගේ ජිවිත යළි නගා සිටුවීමට අපි කැපවෙනවා. නිවාස නැවත ප්‍රතිසංස්කරණය කරන වැඩපිළිවෙල දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා සිදුවේවි," ඔහු පැවසීය.

ආපදාවට ලක්වූවන්ට රජය මගින් කිසිදු සහනයක් හිමි නොවූ බවට 'දේශපාලන හේතු මත' ඇතැමුන් එල්ල කරන චෝදනා පිළිබඳව කණගාටුවන බවත් ඔහු පැවසීය.

Image caption 'ත්‍රිවිධ හමුදාව දැක දැක අපේ රජයේ නිලධාරීන් එතන පෙනී පෙනී ප්‍රශ්න කරනවා කොහෙද රජය ඉන්නේ කියලා. රජය කියන්නේ බෝඩ් ලෑලි ගහගෙන කරන එක නෙවෙයි. සියළු දෙනාම එකට එකතු කරගෙන වැඩකරන එක'

"යම් අය දේශපාලන උපක්‍රමයක් පාවිච්චි කරගෙන අහනවා, කෝ මේ රජය මොනවද කරලා තියෙන්නේ කියලා. ත්‍රිවිධ හමුදාව දැක දැක අපේ රජයේ නිලධාරීන් එතන පෙනී පෙනී ප්‍රශ්න කරනවා කොහෙද රජය ඉන්නේ කියලා," අමාත්‍ය රවි කරුණානායක පැවසීය.

"රජය කියන්නේ බෝඩ් ලෑලි ගහගෙන කරන එක නෙවෙයි. සියළු දෙනාම එකට එකතු කරගෙන වැඩකරන එක."

සහන සැලසීමේ කිසියම් දුර්වලතා තිබිය හැකි නමුත් එම දුර්වලතා මෙවැනි දැවැන්ත ගැටලුවක් හටගත් අවස්තාවක සාමාන්‍යයෙන් මතු වන තත්වයක් බවයි ඔහු පවසන්නේ.

ඇතැම් අනවසර ඉදිකිරිම් ගංවතුර මෙතරම් බැරෑරුම් වීමට හේතු වූයේද යන්න සංවර්ධනය කමිටු රැස්වීමේදී සාකච්ඡාවට බඳුන් වූ බව පැවසූ මුදල් අමාත්‍යවරයා, ඒ පිළිබඳව දැඩි තීරණ ගැනීමට සුදානම් බවත් පැවසීය.

Image copyright Getty Images
Image caption 'ගංවතුරට කොටු වූ ජනතාව බේරාගැනීම පිණිස ආරක්ෂක අංශ විශාල කැපවීමකින් ක්‍රියා කළා'

"මෙවැනි ප්‍රශ්නයක් වුනාම මේ ගැන සාකච්ඡා වෙනවා. පස්සේ අමතක වෙනවා. එහෙම නැතුව අපි ආණ්ඩුවක් වශයෙන් බය නැතුව ක්‍රියාත්මක වෙන්න සුදානම්."

එහිදී මාධ්‍ය ඇමතූ කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නගර ප්‍රකාශ කළේ කොළඹ දිස්ත්‍රික්කයේදී කිසිවෙකුත් ගංවතුරට කොටු වී මිය නොගිය බවයි. විශේෂයෙන්ම ගංවතුරට කොටු වූ ජනතාව බේරාගැනීම පිණිස ආරක්ෂක අංශ විශාල කැපවීමකින් ක්‍රියා කළ බවත් ඔහු පැවසීය.

"මරණ කිහිපයක් සිදුවුණා කොළඹ දිස්ත්‍රික්කයේ. ඒ සිදුවුනේ ගංවතුරේ ඔරු පදින්න ගිහිල්ලා, නැත්නම් නොසැලකිලිමත්ව කටයුතු කරලා. මුදවා ගැනීමේ කටයුතු අපි සාර්ථකව ඉටු කළා," දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නගර පැවසීය.

ගංවතුරෙන් සිදු වූ පුද්ගල හා දේපල හානි පිළිබඳ තොරතුරු රැස්කිරීම අඟහරුවාදා සිට ආරම්භ වන බවත් දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර