වකුගඩු ජාවාරම: 'ඉන්දීය සැකකරු රටින් පිටව ගිහින්'

kidney suspects
ඡායාරූප ශීර්ෂ වැකිය,

අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් පොලිසිය කියා සිටියේ නීති විරෝධී වකුගඩු ජාවාරම පිළිබඳ නීතිපති උපදෙස් මත පරීක්ෂණ පවත්වන බවයි

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සිදු වන බව පැවසෙන නීති විරෝධී වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටියදී පළාගිය ඉන්දීය ජාතිකයා රටින් පිටව ගොස් ඇති බව පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවසයි.

වකුගඩු ජාවාරමට සම්බන්ධ බවට සැක පිට ඉකුත්දා කොළඹදී ඉන්දීය ජාතිකයින් අට දෙනෙකු අත් අඩංගුවට ගත් අතර ඔවුන් අධිකරණ නියෝග මත ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මිරිහානේ පිහිටි විශේෂ කඳවුරක රඳවා තිබිණි.

එහි සිටි එක් සැකකරුවෙකු පළා ගිය බවයි පොලිසිය මීට ඉහතදී අධිකරණයට වාර්තා කළේ.

එසේ පළා ගිය සැකකරු මේ වන විට රටින් පිටව ගොස් ඇති බව පොලිසිය අධිකරණයට වාර්තා කළ බවයි විත්තියේ නීතිඥ ලක්ෂාන් ඩයස් කියා සිටියේ.

එම සැකකරු අත් අඩංගුවට ගන්නා ලෙස දන්වා අධිකරණය දැනටමත් වරෙන්තුවක්ද නිකුත් කොට තිබේ.

අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් පොලිසිය කියා සිටියේ නීති විරෝධී වකුගඩු ජාවාරම පිළිබඳ නීතිපති උපදෙස් මත පරීක්ෂණ පවත්වන බවයි.

පරීක්ෂණ කඩිනමින් නිම කරන මෙන් පොලිසියට නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකාර ඉන්දීය ජාතිකයින් හත් දෙනා ලබන 31 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය.

එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙසයි අධිකරණය පොලිසියට නියම කොට සිටියේ.