බස්නාහිර පළාතේ ඉඩම් ගොඩ කිරීම තහනම් - ජනපති

බස්නාහිර පළාතේ ඉඩම් ගොඩ කිරීම තහනම් - ජනපති

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

ගංවතුරින් සහ නාය යාම්වලින් ආපදාවට ලක් වූ ප්‍රදේශ අධි ආරක්ෂිත කලාප ලෙස නම් කිරීමට ද තීරණය වී ඇත

බස්නාහිර පළාතේ ඉඩම් ගොඩ කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි සම්පූර්ණයෙන්ම තහනම් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බලධාරීන්ට නියෝග කොට තිබේ.

අයහපත් කාලගුණයත් සමඟ ඇති වූ ආපදා තත්ත්වයට ප්‍රධාන හේතුව අනවසර පදිංචි වීම් සහ ඉඩම් ගොඩ කිරීම බව අදාළ අංශ පෙන්වා දී ඇති අතර ඒ පිළිබඳ අවධානය යොමු කොට ජනාධිපතිවරයා විසින් ඉහත කී තීන්දුව ගනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ.

අනවසර පදිංචි වීම් සඳහා මින් ඉදිරියට කිසිදු ඉඩක් ලබා නොදෙන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

අධි ආරක්‍ෂිත කලාප

හදිසි ආපදා තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී සඳුදා රැස් විය.

ගංවතුරින් සහ නාය යාම්වලින් ආපදාවට ලක් වූ ප්‍රදේශ අධි ආරක්ෂිත කලාප ලෙස නම් කිරීමට ද එහිදී තීරණය වී ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

අයහපත් කාලගුණයත් සමඟ අගනුවර ඇති වූ ආපදා තත්ත්වයට ප්‍රධාන හේතුව අනවසර පදිංචි වීම් සහ ඉඩම් ගොඩ කිරීම බව බලධාරීහු පවසති

නැවත ආපදාවන්ට ලක් වීමේ අවදානමක් පැවතිය හැකි බැවින් එම ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් එම පියවර ගත් බවයි සඳහන් වන්නේ.

ආපදා තත්ත්වය හේතුවෙන් හානියට පත් ප්‍රදේශවල ජනතාව නැවත සිය නිවාසවල පදිංචි වීමට පෙර එම නිවාස නිසි තාක්ෂණික පරීක්ෂණයකට ලක් කිරීමට ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව ජනපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් පැවසීය.