'හානි වූ නිවෙස් නැවත ගොඩ නැගීමේ තක්සේරු කටයුතු ආරම්භ කළා'

දිස්ත්‍රික්ක ගණනාවක පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මේ වන විට සිදු වූ මරණ සංඛ්‍යාව අනු හතරක් ලෙස වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි පවසයි.

ඊට අමතරව පුද්ගල අතුරුදහන් වීම් එකසිය හතක් වාර්තා වන අතර පූර්ණ ලෙස හානි වූ නිවාස පන්සිය විසි පහක් සහ අර්ධ වශයෙන් හානි වූ නිවාස හාරදහස් පනස් තුනක් ලෙස හඳුනා ගෙන ඇති බවයි ඔහු කියා සිටියේ.

පුද්ගලයන් එක් ලක්ෂ විසි හයදහසකට අධික පිරිසක් තවමත් දිවයින පුරා පිහිටුවා තිබෙන ආරක්ෂක කඳවුරු දෙසිය හැට අටක රඳවා සිටින බවයි මේ වන විට ආපදා තත්වය හමුවේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින තත්වය පැහැදිලි කරමින් ප්‍රදීප් කොඩිප්පිලි පවසන්නේ.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ ලංකාව පුරා දෙලක්ෂ පනස් අටදහසකට වැඩි පිරිසක් ගංවතුර සහ නාය යාම් වලින් දැඩි පීඩාවට පත්ව සිටින බවයි.

අවතැන් වූ පිරිස් වලට සහන ආධාර ලබා දීමට අවශ්‍ය නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ජාතික සහන සේවා මධ්‍යස්ථානය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා ඒ කටයුතු සිදු කිරීමෙන් මනා කළමනාකාරිත්වයක් සහිතව සාර්ථකව විපතට පත් වූවන්ට උපකාර කිරීමේ හැකියාව ලැබෙන බවයි ඔහු අවධාරණය කළේ.

අයහපත් කාලගුණයෙන් හානි වූ නිවාස නැවත ගොඩ නැගීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන රජයේ රක්ෂණ අරමුදල් හරහා මහා ජනතාව වෙත ලබා දීම සිදු කිරීමට අවශ්‍ය ආපදා තක්සේරු කිරීමේ කටයුතු මේ වන විට අරඹා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.

විශේෂයෙන්ම රජය විසින් නිකුත් කර තිබෙන නාය යාම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් වලංගු වන බව පැවසූ සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ කඳුකර ප්‍රදේශ වල ජීවත් වන ජනතාව ඉතා සුපරික්ෂාවෙන් හිඳීම වැදගත් වන අතර ඇද හැලෙන වර්ෂාව හමුවේ නාය යාම් සලකුණු දුටු වහාම එම ප්‍රදේශ වල රැඳී නොසිට ආරක්ෂක ස්ථාන කරා යාමට පියවර ගැනීම ඉතාමත් වැදගත් බවයි.