නවක වදය: 'වරද උප කුලපති ඇතුළු කාර්ය මණ්ඩලයේ'

නවක වදය
ඡායාරූප ශීර්ෂ වැකිය,

නවක වදය ලෙසින් පවතින්නේ ම්ලේච්ඡ හිංසන ක්‍රියාවලියක් -ග්‍රේරු

විශ්ව විද්‍යාල තුළ නවක වදය පවතින්නේ උප කුලපති ඇතුළු බලධාරීන්ගේ වරදින් බව උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමතිවරයා චෝදනා කරයි.

සියලු බලතල ලබා දී තිබියදීත් උප කුලපති ඇතුළු කාර්ය මණ්ඩලය තම යුතුකම නිසි ලෙස ඉෂ්ට කර නොමැති බවයි උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති මොහාන් ලාල් ග්‍රේරු බීබීසීයට කියා සිටියේ.

'නවක වදය පැත්තෙන් ගත්තහම විශ්වවිද්‍යාලවල පාලක මණ්ඩලයේ ඒ යුතුකම ඉෂ්ට වෙලා නැහැ කියන එක අපි දකිනවා. අධ්‍යයන කාර්ය මණ්ඩලය, අනධ්‍යයන කාර්ය මණ්ඩලය, පාලක මණ්ඩලය මේක බලල තියෙන්නේ මේක මේ එතරම් දෙයක් නෙමෙයි, මේක චාරිත්‍රානුකුලව වුනු දෙයක් වගේ. එක පැත්තකින් බලනකොට මේක විශ්වවිද්‍යාල තුළ තියෙන වෙනම ආණ්ඩුවක් වගේ.' බීබීසීයේ තිසර රතුවිතාන කළ විමසීමකදී ඔහු පැවසීය.

'ම්ලේච්ඡ හිංසනයක්'

ඡායාරූප ශීර්ෂ වැකිය,

'නවක වදය ඇප ලබා දිය නොහැකි වරදක්'

රජයේ චක්‍රලේඛණ මගින් සියලු බලතල ලබා දී තිබියදීත් විශ්ව විද්‍යාල පරිපාලනය නවක වදය නැවත්වීමට කටයුතු කර නැති බව රාජ්‍ය ඇමතිවරයා පැවසීය.

'රජය නෙමෙයි මේක ක්‍රියාත්මක කරන්න ඕන. විශ්වවිද්‍යාලවලට සියලු ශක්තිය ලබා දී තිබෙනවා මේ පනත් හරහා. ඒ සඳහා ඕන නීති සම්පාදනය කරලා තියෙනවා, පොලිසිය ඒ සඳහා ක්‍රියා කිරීමට කැමැත්තෙන් සිටිනවා. එවැනි තත්වයක් යටතේ උපකුලපති තුමා ඇතුළු පහලට සිටින සියලු දෙනා විසින් මෙය ක්‍රියාත්මක කිරීම අප බලාපොරොත්තු වෙනවා.' ඔහු පැවසීය.

විශ්ව විද්‍යාල තුළ නවක වදය ලෙසින් පවතින්නේ ම්ලේච්ඡ හිංසන ක්‍රියාවලියක් බවයි උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති මොහාන් ලාල් ග්‍රේරු පවසන්නේ.

නවක වදය ඇප ලබා දිය නොහැකි වරදක් ලෙසින් නීති ගත කර ඇති බවද ඔහු අවධාරණය කරයි.