අසැබි වදන පිළිබඳ සමාව අයදිනවා - හරීන්

අසැබි වදන පිළිබඳ සමාව අයදිනවා - හරීන්
ඡායාරූප ශීර්ෂ වැකිය,

'වෙච්ච අඩුපාඩුව සම්බන්ධයෙන් මම උත්තරීතර සභාවෙන් සමාව අයැද සිටින අතරම එවැනි දෙයක් නැවත සිදු නොවන්නත් වග බලා ගන්නවා.'

පාර්ලිමේන්තු විවාදයක් අතරතුර සිය මුවින් අසැබි වචනයක් පිටවීම සම්බන්ධයෙන් සමාව අයදින බව විදුලි සංදේශ කටයුතු භාර අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

'ගරු කථානායකතුමනි වෙච්ච අඩුපාඩුව සම්බන්ධයෙන් මම උත්තරීතර සභාවෙන් සමාව අයැද සිටින අතරම එවැනි දෙයක් නැවත සිදු නොවන්නත් වග බලා ගන්නවා.' අමාත්‍යවරයා කියා සිටියේ බදාදා පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී.

පසුගිය දහඅට වනදා ශ්‍රී ලන්කන් ගුවන් සේවය පිළිබඳ තමා ප්‍රකාශයක් කිරීමට සුදානම් වනවාත් සමග විපක්ෂය කරන ලද ප්‍රකාශයකට තමා ප්‍රතිඋත්තරයක් ලබා දීමට යාමේදී අඩුපාඩුවක් සිදු වූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

විපක්ෂයේ ඇතැම් පිරිස් දිගින් දිගටම කථානායකවරයාට සහ අග්‍රාමාත්‍යවරයාටත් නොයෙකුත් නම් පවසමින් බාධා කරන බවත් එදිනත් එවැනිම තත්වයක් ඇති වූ බවත් ඔහු පැවසීය.

එවැනි සිදුවීම් පාර්ලිමේන්තුව තුළ සිදු වීම සම්බන්ධයෙන් තමා කනගාටුවටත් ලැජ්ජාවටත් පත් වන බවයි එහිදී කථානායක කරු ජයසූරිය කියා සිටියේ.

''දේශපාලනඥයන් වශයෙන් තමාගේ වරද පිළිගැනීම ඔබගේ දේශපාලන අනාගතයට ආදර්ශයක් වේවි කියා මම විශ්වාස කරනවා.''

මෑත කාලයේ සභාගැබ තුළ ඇති වූ ඇතැම් සිදුවීම් හේතුවෙන් පාර්ලිමේන්තුවේ ගෞරවය පහත් මට්ටමට වැටී ඇති බවත් කථානායකවරයා පැවසීය.

'මෙය රටටම ආදර්ශයක් ලබා දිය යුතු තැනක්. අද මෙම ස්ථානය දෙස පාසල් ළමුන් පවා බලන්නේ අවඥා සහගත ආකාරයකට' කථානායක කරු ජයසූරිය සඳහන් කළේය.

මන්ත්‍රීවරුන්ට ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දුන්නේ පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කිරීමේ අරමුණින් බවත් කථානායක කරු ජයසූරිය වැඩිදුරටත් කියා සිටියේය.