‘ආපදා කළමනාකරණ ක්‍රමවේදයේ අඩු පාඩු කම් පෙනුනා’

ශ්‍රී ලංකාව ගංවතුර

නිසි අපදා කළමනාකරණය කිරීමේ නව වැඩසටහනක් සකස් කිරීම සඳහා නව නීති ගෙන ඒමට රජය බලාපොරොත්තු වන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

ආපදා තත්ත්වය සමාලෝචනය කිරීම සඳහා අද කැඳවා තිබූ විශේෂ පාර්ලිමේන්තු රැස්වීම අමතමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

ආපදා කළමනාකරණ ක්‍රමවේදයේ අඩු පාඩු කම් ඇති බැවින් ඒ සඳහා අවශ්‍ය නීති හඳුන්වා දී නව ආපදා කළමනාකරණය කිරීමේ වැඩසටහනක් සකස් කිරීමට රජය බලාපොරොත්තු වන බව අගමැති රනිල් වික්‍රමසිංහ පැවසීය.

'අපිට මේ ක්‍රමවේදයේ අඩු පාඩු කම් පෙනුනා, කාලයක් තිස්සේ ආපදා කළමනාකාරිත්වය හරියට ක්‍රියාත්මක වෙලා තිබුණේ නැහැ, විශේෂයෙන්ම බලන්න ඕනේ කොහොමද අපි අලුත් වැඩසටහනක් ඇති කරන්නේ කියල, ගංවතුරෙන් හානි වුනු අයට වන්දි දීමට වැඩපිළිවෙළක් හදමින් යනවා, අරනායක නාය ගිය ප්‍රදේශයට අළුත් නිවාස ලබා දීමටත් වැඩපිළිවෙළක් සකස් වෙනවා' අගමැතිවරයා අදහස් දැක්වීය.

ඡායාරූප මූලාශ්‍රය, Ranil Wikramasingha

අනාගතයේ දී ඇතැම් ප්‍රදේශවල නිවාස ඉදි කිරීම නවතා දැමීමට සිදු වනු ඇති බව පැවසූ අගමැතිවරයා ඒ සියල්ල සැලැස්මක් ඇතුව සිදු විය යුතු බවයි පැවසුවේ.

මෙම විවාදයට එක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසුවේ මේ අවස්ථාවේ එකිනෙකාට චෝදනා නොකර අවතැන් වූවන්ට උදව් කළ හැකි ආකාරය සම්බන්ධයෙන් සියලු දෙනාගේ අවධානය යොමු විය යුතු බවයි.

මෙහි දී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ආණ්ඩුවට චෝදනා කරමින් කියා සිටියේ ජනතාවට සහන සැලසීම සඳහා පොදු යන්ත්‍රණයක් සකස් කිරීමට ආණ්ඩුව අපොහොසත් වූ බවයි.

අද අනවසර ඉදිකිරීම් යැයි පවසන ඉදිකිරීම් සඳහා නීත්‍යනුකූල අවසර ලබා දී තිබෙන්නේ ද දේශපාලන මැදිහත් වීම් හේතුවෙන් බවයි අනුර කුමාර දිසානායක පෙන්වා දෙන්නේ.

කොළඹ නගරයේ පහත් බිම් ගොඩ කිරීම් සිදු කර තිබෙන්නේ ඒවා වැළැක්වීමට තිබෙන අණපනත් උල්ලංඝනය කරමින් බවයි ඔහු කියා සිටියේ.