මහ ඇමති නෂීර්ගේ කතාව අනුමත කරන්න බැහැ - රුවන්

Ruwan Wijevardhana
ඡායාරූප ශීර්ෂ වැකිය,

ත්‍රස්තවාදය නිමා කිරීමට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කල රණවිරුවන් අපහසුතාවයට පත්වන අයුරින් කිසිදු පුද්ගලයෙකුට කටයුතු කිරීමට ඉඩක් ලබා නොදෙන බවයි ඔහු පවසන්නේ

නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය නෂීර් අහමඩ් ඉකුත්දා ත්‍රිකුණාමලය සාම්පූර් මධ්‍ය මහා විද්‍යාලයේ පැවති උත්සවයකදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකා විදුර කඳවුර භාර අණදෙන නිළධාරීවරයා අපහසුතාවයට පත්වන අයුරින් සිදුකළ ප්‍රකාශය කිසි සේත් අනුමත නොකරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන පවසයි.

එම සිදුවීම පිළිබඳව ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය අංශය නිකුත් කළ නිළ ප්‍රකාශයකයි මේ බව සඳහන් වන්නේ.

ප්‍රශංසනීය මෙහෙවරක

ත්‍රස්තවාදය හේතුවෙන් විනාශයට පත්වූ නැගෙනහිර පළාත තුළ සහ විශේෂයෙන් මේ වන විට සාම්පූර් ප්‍රදේශයේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ප්‍රශංසනීය මෙහෙවරක ශ්‍රී ලංකා නාවික හමුදාව නිරතවන බව සඳහන් කරන එම ප්‍රකාශණය ඉකුත්දා එම අවාසනාවන්ත සිදුවීම සිදුවන අවස්ථාවේදී ද නාවික හමුදාව සිදුකල මෙහෙය පිළිබඳව නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා අවබෝධයකින් පසුවූයේ ද යන්න සැක සහිතබවයි සඳහන් කර ඇත්තේ.

පෞද්ගලික ආයතනයක් සමඟ එක්ව ශ්‍රී ලංකා නාවික නෞකා විදුර කඳවුර භාර අණදෙන නිළධාරීවරයා ඇතුළු නාවික හමුදා නිළධාරීන් සාම්පූර් මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන අහිංසක දූ දරුවන්ගේ විද්‍යාගාර පහසුකම් දියුණු කිරීමේ අරමුණින් වටිනා පරිත්‍යාග රැසක් එදින එම විද්‍යාලයට ප්‍රධානය කිරීම සිදුකෙරුණු බවද එම ප්‍රකාශනයේ මතුකොට දක්වා තිබේ.

බුද්ධිමත් විය යුතුයි

මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව සාම්පූර් ප්‍රදේශයේ ජනතාවගේ ජන ජීවිත යලි ගොඩනැංවීම සඳහා පානීය ජලය සැපයීම්, මාර්ග සංවර්ධනය , පාසල් දියුණු කිරීම්, සෞඛ්‍ය මධ්‍යස්ථාන ගොඩනැඟීම් ඇතුළු යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා සිදුකරන ප්‍රශංසනීය මෙහෙය පිළිබඳ නැගෙනහිර පළාත් මහඇමතිවරයා මහජන නියෝජිතයෙකු ලෙස සතුටු වියයුතු බව පවසන ප්‍රකාශණය වගකිවයුතු තනතුරක් දරන දේශපාලනඥයෙකු ලෙස ඒ මහතාට යම් ගැටළුවක් එම උත්සවය පැවති අවස්ථාවේ පැනනැඟී තිබුණේ නම් බුද්ධිමත් ව එය විසඳාගත යුතුව තිබූ බව තම හැඟීම බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසූ බවයි සඳහන් කර ඇත්තේ.

ප්‍රකාශනයේ වැඩිදුරටත් සඳහන් ආකාරයට ත්‍රස්තවාදය නිමා කිරීමට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කල රණවිරුවන් අපහසුතාවයට පත්වන අයුරින් කිසිදු පුද්ගලයෙකුට කටයුතු කිරීමට ඉඩක් ලබා නොදෙන බව සඳහන් පවසා ඇති ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා, ඔවුන්ගේ අභිමානය ආරක්ෂාකිරීම වෙනුවෙන් ඕනෑම අවස්ථාවක පෙනී සිටින බව පවසා තිබේ.

අගය කරනවා

නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය නෂීර් අහමඩ් මහතා වගකිව යුතු මහජන නියෝජිතයෙකු ලෙස ඉදිරියේදී කටයුතු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව සඳහන් කල ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකා නාවික හමුදාව සාම්පූර් ඇතුළු නැගෙනහිර පළාත තුළ ත්‍රස්තවාදය හේතුවෙන් අසරණ වූ ජනතාව ගේ අවශ්‍යතාවයන් ඉටුකිරීම සඳහා සිදුකරන මෙහෙය නිරතුරුව අගය කරන බවද පැවසූ බවයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.