'අනවසර පදිංචිකරුවන්ටත් නිවාස' - සජිත්

'අනවසර පදිංචිකරුවන්ටත් නිවාස' - සජිත්

ඇතිවූ ගංවතුර හා නාය යාම් තත්වය හමුවේ විනාශවුණු නිවාස සියල්ල රජය විසින් පිළිසකර කර දෙන බව නිවාස හා ඉදිකිරීම් ආමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.

බිබිසියේ කොළඹ වාර්තාකරු අසාම් අමින් සමග සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ හානියට පත්වූ නිවාස නැවත ඉදිකරදීමේ වගකීම තමන් බාරගන්නා බවයි.

' මේක ක්ෂණික නුඩ්ල්ස් වගේ කරන්න බැහැ, විධිමත්ව හා ක්‍රමානුකූලව ඒ වැඩසටහන ක්‍රියාත්මක කරන්න අපි සැදී පැහැදී සිටිනවා, විශේෂයෙන්ම ඇමතිවරයා ලෙස මම බහිනවා බිම් මට්ටමට, හෙට මම අරණායක යනවා ඒ ගැට‍ළුව විසඳන්න' යනුවෙනුයි ඔහු පැවසුවේ.

ඇතැම් ස්ථානවල ජනතාව අනවසර ලෙස නිවාස සාදාගෙන සිටි බව පවසමින් ඔවුන්ව කප්පාදුවට ලක්කළ නොහැකි බව පැවසූ ඇමතිවරයා ඔවුන්ටත් විසදුමක්ලෙස නිවාස ලබාදෙන බවයි සඳහන් කළේ.

'මේක බොහොම සංකීර්ණයි, සින්නකර ඔප්පු තිබෙන අය ඉන්නවා, බලපත්‍ර තියෙන අය ඉන්නවා, අවතැන්වුණු අයට විකල්ප ඉඩම් හොයන්න ඕනේ, අනවසරෙන් හිටපු කට්ටියටත් අපි උදව් කරන්න ඕනේ, අනවසරයි අරකයි මේකයි කියලා කප්පාදු කරන්න බැහැ' යනුවෙන් ඔහු පැවසීය.

අපදා කළමනාකරණ අමාත්‍යංශයේ සංඛ්‍යාලේඛන අනුව ගංවතුර හා නායයාම් හේතුවෙන් නිවාස 600 කට අධික ප්‍රමාණයක් සම්පුර්ණයෙන්ම විනාශ වී තිබෙන අතර නිවාස 4500 කට ආසන්න ප්‍රමාණයක් අර්ධ වශයෙන් හානිවී තිබේ.

අමාත්‍යවරයා පවසන්නේ විපතෙන් හානිවූ හැම නිවසක්ම පිළිසකර කර දෙන බවයි.

නායයාමේ තර්ජන හේතුවෙන් ජනතාව විකල්ප ඉඩම්වල පදිංචි කරවීමේදී ඔවුන්ගේ ජීවනෝපාය ගැටළුවටද විසදුමක් දීමට අවශ්‍ය නේදැයි විමසූවිට අමාත්‍ය සජිත් ප්‍රේමදාස පැවසුවේ ඒ සදහාද විසඳුම් සහිතව මෙම ගැටළුව නිරාකරණය කිරීමට රජය බලාපොරොත්තු වන බවයි