ජෙයලලිතාට ශුභ පැතුම්! උතුරු පළාත් සභාවේ ගැටුම්කාරී තත්වයක්

Image caption උතුරු පළාත් සභාව

ජයලලිතා ජෙයරාම් මෙනෙවිය තමිල්නාඩු ප්‍රාන්තයේ මහඇමති පදවියට යළිත් පත්වීම සම්බන්ධයෙන් ඇයට ශුභ පැතීම සඳහා උතුරු පළාත් සභාවේ මහඇමති සී.වී.විග්නේශ්වරන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට මන්‍ත්‍රීවරුන් කණ්ඩායමක් විරෝධය පළ කිරීම නිසා පළාත් සභාව තුළ උණුසුම් තත්වයක් ඇති විය.

ජෙයලලිතාට ශුභ පතන මහ ඇමතිවරයා මේ වන විට රට තුළ පවතින ආපදා තත්වය කෙරෙහි අවධානය යොමු නොකළ බවයි ඉහත කී යෝජනාවට විරෝධය දක්වන මන්ත්‍රීවරුන් පෙන්වා දෙන්නේ.

උතුරු පළාත් සභාවේ නව සැසි වාරය ආරම්භ වූ අවස්ථාවේ මහ ඇමති සී.වී.විග්නේශ්වරන් කියා සිටියේ ,ජෙයලලිතාගේ ජයග්‍රහණය පිළිබඳව ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවත් සතුටට පත් වන බවයි.

'ජයලලිතා ජෙයරාම් තමිල්නාඩුවේ මහඇමතිනිය විදිහට හය වන වරටත් දිවුරුම් දුන්නා. ඒක අපට විශාල සතුටක්. ඇයට අපේ ශුභ පැතුම් එක් කරනවා. තමිල්නාඩුවට හා දෙමළ ජනතාවට ඇය කළ සේවය තමයි මේ ජයග්‍රහණයට හේතු වුනේ' මහ ඇමතිවරයා සඳහන් කළේය.

Image caption උතුරු පළාත් සභාව තුළ කලින් ඇති වූ ගැටුම්කාරී තත්වයක්

එම ප්‍රකාශයට ප්‍රතිචාරය පළ කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී වී.ජයතිලක කියා සිටියේ 'නව පළාත් සභා සැසි වාරය ආරම්භයේ දී කළ යුත්තේ ජෙයලලිතාගේ ජයග්‍රහණය සැමරීම නොව පසුගිය දා ගංවතුර සහ නායයාම් මගින් විපතට පත් රටේ ජනතාව වෙනුවෙන් උතුරු පලාත් සභාව හැටියට කනගාටුව සහ ශෝකය ප්‍රකාශ කිරීම' වන බවයි.

'පසුගිය දා මේ රටට බලපාපු ව්‍යසනයෙන් සිය ගණනක් මැරිලා සිය ගණනක් අතුරුදහන් වූ බව අද මේ සභාවට අමතක වෙලා ද? ලක්ෂ ගණකත් ජනතාව අනාථ වෙලා ඉන්නවා. එහෙම තියෙද්දී අල්ලපු ගෙදර ඉන්න ජෙයලලිතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සතුටු කඳුළු හෙලන මේ සභාවත් ශ්‍රී ලාංකිකයන් හැටියට රටේ පවතින තත්වය ගැන දුක් විය යුතු අවස්ථාවක් මේක. විශේෂයෙන්ම උතුරු පළාතේ කිලිනොච්චියේ විශාල ජනතාවකට ගංවතුර බලපෑවා. නව සභා වාරය ආරම්භයේ දී අපි කරන්න ඕන ජෙයලලිතාගේ ජයග්‍රහණය සමරන එක නොවෙයි - රට තුළ සිදු වූ ව්‍යසනය සම්බන්ධයෙන් අපි සියලු දෙනා එක්ව උතුරු පළාත් සභාව වෙනුවෙන් කනගාටුව ශෝකය ප්‍රකාශ කිරීමයි කළ යුතුව තිබෙන්නේ' උතුරු පලාත් සභා මන්ත්‍රී වී.ජයතිලක කියා සිටියේය.

ආපදා තත්වය පිළිබඳව ශෝකය හා කණගාටුව ප්‍රකාශ කිරීම සඳහා තමා බලා පොරොත්තුවෙන් සිටි බවයි එම අවස්ථාවේ පළාත් සභා සභාපති සී.වී.කේ.සිවඥානම් කියා සිටියේ .

Image caption මහ ඇමති විග්නේශ්වරන්

වී.ජයතිලක මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයට තමාත් සහයෝගය පළ කරන බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ඇන්ටනී ජෙගනාදන් ප්‍රකාශ කළේය.

'ජයතිලක මන්ත්‍රීවරයාගේ කතාවට මාත් එකඟයි. පීඩාවට පත් ජනතාවට දේශීය හා විදේශීය මට්ටමින් ආධාර ලැබෙමින් පවතිනවා. නමුත් උතුරු පළාත් සභාවේ අපි ඒ සම්බන්ධයෙන් කිසිම පියවරක් අර ගෙන නැහැ' දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ඇන්ටනී ජෙගනාදන් පෙන්වා දුන්නේය.