ශ්‍රී ලංකාව ආයෝජකයන්ගේ පාරාදීසයක් වෙලා - මංගල

ශ්‍රී ලංකාව ආයෝජකයන්ගේ පාරාදීසයක් වෙලා - මංගල Image copyright Mangala Samaraweera/FB
Image caption ''ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස යළි වතාවක්, කෙටි කලක් තුළ ලෝකයේම ප්‍රසිද්ධ වෙලා තිබෙනවා.'

පසුගිය කාලය තුළ සංචාරකයන්ට පමණක් සීමා වී තිබූ ශ්‍රී ලංකාව මේ වන විට විදේශ ආයෝජකයන්ගේ පාරාදීසයක් බවට පත් වී ඇති බව විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය මංගල සමරවීර පවසයි.

අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ G7 සමුළුවට සමගාමීව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග ජපානයේ නිල සංචාරයක යෙදී සිටින අතරතුරදී.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුවේ යහපාලන ප්‍රතිපත්ති නිසා සමුළුව සඳහා සහභාගී වී සිටින ලෝක නායකයන්ගෙන් ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත ඉහළ පිළිගැනීමක් ලැබුණු බවත් ඔහු සඳහන් කළේය.

'ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස යළි වතාවක්, කෙටි කලක් තුළ ලෝකයේම ප්‍රසිද්ධ වෙලා තිබෙනවා. අප රට ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමට නායකත්වය දෙන රටක් ලෙස ප්‍රසිද්ධ වෙලා තිබෙනවා.' විදේශ අමාත්‍යවරයා පැවසීය.

G7 සමුළුව සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ආරාධනා කිරීම තුළින් යහපාලන ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය සහ එහි සාර්ථකත්වය ලොවට පිළිබිඹු වන බවත් විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය මංගල සමරවීර වැඩිදුරටත් කියා සිටියේය.

ජනපති සහ ශ්‍රී ලාංකිකයන්

මේ අතර ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා මිස කිසිදු අයුරකින් දුර්වල වී නොමැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අවධාරණය කළේය.

පශ්චාත් යුද සමයේ ඉටු කළ යුතු වගකීම් නිසි ලෙස ඉටු නො කිරීම හේතුවෙන් වත්මන් රජයට ජාත්‍යන්තරය හමුවේ උත්තර බැඳීමට සිදු වී ඇති බව ජනාධිපතිවරයා කියා සිටියේ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හා නගෝයා නුවර සිකුරාදා පැවති හමුවක් අමතමිනුයි.

ජපානය, වියට්නාමය, කොරියාව වැනි රටවල් යුධ ජයග්‍රහණ සදාකාලික ජයග්‍රහණයක් බවට පත් කර ගනිමින් ලෝකයේ ඉදිරියට ගිය නමුත් ශ්‍රී ලංකාව ඊට අසමත් වී ඇති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්