ගංවතුරෙන් පසුත් මීතොටමුල්ලට තවත් කුණු

ගංවතුරෙන් පසුත් මීතොටමුල්ලට තවත් කුණු

පසුගියදා ඇති වූ ගංවතුරත් සමග මීතොටමුල්ල කුණු කන්ද අවට වෙසෙන ජනතාව දැඩි දුෂ්කරතාවකට මුහුණ දී තිබියදීත් තවදුරටත් කුණු කන්දට අපද්‍රව්‍ය එක් කෙරෙමින් පවතින බව වාර්තා වේ.

කොළඹ සහ කැළණි ගඟ ආශ්‍රිත ගංවතුරට හසු වූ ප්‍රදේශවලින් බැහැර කෙරෙන අපද්‍රව්‍ය සියල්ල මේ වන විටත් මීතොටමුල්ලට රැගෙන එන බව මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල පවසයි.

අධික වර්ෂාව හමුවේ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යට වූ අතර එම ප්‍රදේශවල ජලය බැස යෑම සඳහා සතියකට ආසන්න කාලයක් ගත විය.

එසේ ගංවතුරට මුහුණ දුන් මීතොටමුල්ල කුණු කන්ද අවට වෙසෙන ජනතාව විපතට පත් වූ වෙනත් ප්‍රදේශවල දක්නට නොමැති ව්‍යසනයකට මුහුණ පා සිටිති.

කුණු කන්දේ තිබූ අපද්‍රව්‍ය වැස්ස සමඟ සේදී ගොස් අවට ප්‍රදේශයේ රැඳී තිබීම ඊට හේතුවයි.

කුණු කන්ද සේදිලා ආපු වතුර තමයි පහළ ගෙවල්වල තියෙන්නේ. කලුම කලු තාරවලට හුරු වතුරක් තිබෙන්නේ.'

ඡායාරූප මූලාශ්‍රය, Kasun Pussewela/FB

ඡායාරූප ශීර්ෂ වැකිය,

'කුණු කන්ද සේදිලා ආපු වතුර තමයි පහළ ගෙවල්වල තියෙන්නේ. කලුම කලු තාරවලට හුරු වතුරක් තිබෙන්නේ.'

මීතොටමුල්ල කුණු කන්ද අවට පමණක් නිවාස දහසක් පමණ පිහිටා ඇති බවයි මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල බීබීසී සංදේශයට කියා සිටියේ.

'මිනිස්සු කටකතාවට කියනවා, කුණු කන්ද මේ දවස් වල සුදු වෙලා කියලා. කුණු කන්ද සේදිලා ආපු වතුර තමයි පහළ ගෙවල්වල තියෙන්නේ. කලුම කලු තාරවලට හුරු වතුරක් තිබෙන්නේ.' ඔහු සඳහන් කළේය.

මීතොටමුල්ලේ කුණු දැමීමට එරෙහිව ප්‍රදේශයේ ජනතාව විසින් දෙදහස් අට වසරේ සිට මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොනු කොට ඇති බවත් මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල පවසයි.

'සියයට හැටකට රෝග'

කුණු කන්දට එරෙහිව ජාතික ව්‍යාපාරය සහ ප්‍රදේශයේ ජනතාවගේ විරෝධය හමුවේ එය පුත්තලම ප්‍රදේශයට ගෙන යන බවට පසුගියදා මාධ්‍ය වාර්තා පළවුණි.

තම අදහස අනුව කුණු කන්ද වෙනත් ප්‍රදේශයකට ගෙන යන බවට පළ කෙරෙන ප්‍රකාශන 'හුදෙක් මැතිවරණ පොරොන්දුවකට සමාන වූවක්' බවයි කසුන් පුස්සෙවෙල කියා සිටියේ.

සමස්ත ලංකා වෛද්‍යවරුන්ගේ සංගමයක් විසින් සිදු කරන ලද පරීක්ෂණවලට අනුව මීතොටමුල්ල අවට ප්‍රදේශයේ ජනතාවගෙන් සියයට හැටක් පමණ චර්ම රෝගයකින් හෝ ශ්වසන රෝගයකින් පෙළෙන බව හෙළි වී ඇති බවත් මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල පැවසීය.

'ඒ මිනිස්සු පාරට බැහැලා ජල ප්‍රහාර මැද පොලිස්සිය, හමුදාවෙන් ගුටි කමින් දැනට අවුරුදු දෙකකට කලින් බරපතළ උද්ඝෝෂණයක යෙදුනා.'

ඡායාරූප මූලාශ්‍රය, Kasun Pussewela/fb

ඡායාරූප ශීර්ෂ වැකිය,

'ඒ මිනිස්සු පාරට බැහැලා ජල ප්‍රහාර මැද පොලිස්සිය, හමුදාවෙන් ගුටි කමින් දැනට අවුරුදු දෙකකට කලින් බරපතළ උද්ඝෝෂණයක යෙදුනා.'

එවැනි තත්වයක් යටතේ සිය දරුවන් සහ දිවි ගෙවන මීතොටමුල්ලේ ජනතාව එහි කුණු දැමීමට එරෙහිව අවස්ථා කීපයකදී වීදි බවට බවත් ඔහු සිහිපත් කළේය.

'ඒ මිනිස්සු පාරට බැහැලා ජල ප්‍රහාර මැද පොලිස්සිය, හමුදාවෙන් ගුටි කමින් දැනට අවුරුදු දෙකකට කලින් බරපතළ උද්ඝෝෂණයක යෙදුනා.'

ගන්වතුරත් සමග කුණු කන්ද දියවීමෙන් ඇති වී තිබෙන දුෂ්කරතා අවම කිරීමට නිසි වැඩපිළිවලක් ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නොමැති බවත් මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල වැඩිදුරටත් පැවසීය.