සමා වෙයං අලි පැටියෝ

සමා වෙයං අලි පැටියෝ

හම්බන්තොට වරායේ දෙවන අදියරට අයත් මාර්ගයක අනාරක්ෂිත කාණුවකට වැටි සිටි මාස තුනක් පමණ වයසැති අලි පැටවෙකුගේ ජීවිතය බේරා ගැනීමට හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරිහු සහ වරාය ඉදිකිරීම් කටයුතු වල නිරතව සිටින සේවකයෝ කටයුතු කළහ.

කොන්ක්‍රීට් කාණුවකට වැටී සිටි අලි පැටවා බේරා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බවයි එම අවස්ථාවේ එහි සිටි රාහුල් සමන්ත හෙට්ටිආරච්චි බීබීසී සංදේශයට කියා සිටියේ.

අලි රංචුව සමග සැරිසරමින් සිටි පැටවා ඉරිදා අලුයම කාණුවට වැටි ඇති බව වනජීවී නිලධාරීහු පවසති.

කාණුවේ වැටි සිටි තම පැටවා හැර නොයා මව් ඇතින්නිය ඒ අවට රැඳී සිටි බවයි රාහුල සමන්ත හෙට්ටිආරච්චි සඳහන් කළේ.

පැටවා කාණුවෙන් ගොඩට ගැනීම සඳහා අලි වෙඩි දමා ඇතින්නිය පලවා හැරීමට වනජීවී නිලධාරීන්ට කටයුතු කළ නමුත් විටින් විට සිය පැටවා සොයා මව් ඇතින්නිය එම ස්ථානය වෙත පැමිණීමට උත්සාහ කොට තිබේ.

මව් සෙනෙහස

පැය හතරකට පසුව අලි පැටවා ගොඩට ගැනීමට හැකි වුවත් පැටවාගේ පසුපස පාදයේ ඇතිව තිබූ ආබාධිත තත්වය හේතුවෙන් පැටවා වනයට මුදා හැරීමට නොහැකි බවත් උඩවලව ඇත් අතුරු සෙවනට ගෙන ගොස් ප්‍රතිකාර කළයුතු බවත් පශු වෛද්‍ය ඩබ්ලිව් .ඒ , ධර්මකීර්ති සංදේශයට පැවසීය.

හම්බන්තොට වරාය භූමිය තුළ මේ වන විටත් වන අලි ජිවත් වන බවත් එසේ ජිවත් වන අලි විටින් විට වරාය අධිකාරියට අයත් ආරක්‍ෂිත වැටද බිඳ දමා ප්‍රධාන මාර්ගයට පැමිණෙන බවත් ප්‍රදේශවාසීහු පවසති.

හම්බන්තොට වරාය අධිකාරියට අයත් භූමි ප්‍රදේශය වටා වැටක් ඉදි කර ඇතත් එම භූමිය තුතුළ තවමත් වන අලි ජිවත් වන බවයි රාහුල සමන්ත හෙට්ටිආරච්චි කියා සිටියේ.

මිට සති දෙකකට පමණ ඉහතදීද දඩයක්කරුවන් විසින් අටවන ලද මන්දකට හසු වී මියගොස් සිටි අලි පැටවකුගේ සිරුරක් හම්බන්තොට ස්වර්ණමාලි වැව්රක්ෂිතයේ තිබී හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් සොයාගන්නා ලදී .

පසුගිය කාලයේ සිට මේ දක්වා හම්බන්තොට දිස්ත්‍රික්කයේ වන අලි ඇතුළු වන සතුන් වෙසෙන ප්‍රදේශ එළි කරමින් විවිධ සංවර්ධන කටයුතු සිදු කිරීම නිසා වන සතුන්ට සිය වාස භූමි අහිමි වී ඇති බව පරිසරවේදීහු පෙන්වා දෙති.

වන අලි සහ වෙනත් වන සතුන් බහුලව වෙසෙන ඉතිරිව තිබෙන කැලෑ ප්‍රදේශ දඩයක් කරුවන්ගේ නිජබිම් බවට පත් වී ඇති බවත් පරිසරවේදීහු පවසති.

'අවිධිමත් සංවර්ධනය'

වන සතුන් බහුලව ජීවත් වූ ප්‍රදේශ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංවර්ධන කලාප බවට පත් වී ඇති බවට පරිසරවේදීහු චෝදනා කරති.

පැවති ආණ්ඩු සමයේ සිදු වූ වන සංහාරය වර්තමානයේත් එලෙසම පැවතීම කනගාටුවට කරුණක් බව පරිසර සංරක්ෂණ භාරයේ සභාපති සජීව චාමිකර පවසයි.

සංවර්ධන කටයුතු සමග අවතැන් වන අලි - ඇතුන්ට රැකවරණය සැලසීම සඳහා හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කළ යුතු බව හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපළ ඉදිකිරීමට ප්‍රථම සකස් කරන ලද පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවල පැහැදිලිව සඳහන් කර ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

එම නිර්දේශ වාර්තාවකට පමණක් සීමා වී ඇති බවත් යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය අවිධිමත් ලෙස සිදු කෙරෙන හම්බන්තොට සංවර්ධනයේ දැවැන්ත ගොදුරක් බවට පත් වී ඇති බවත් පරිසරවේදී සජීව චාමිකර කියා සිටියේය.

ඒ හේතුවෙන් වල්සපුගල, කරුවලවැව, මදුනාගල, හැඩිල්ල, කරඹගහමුල්ල, නබඩගස්වැව හා උණුදිය පොකුණ ආදී ප්‍රදේශ තුළ අලි - මිනිස් ගැටුම උග්‍ර තත්ත්වයකට පත් ව තිබෙන බවයි පරිසර සංරක්ෂණ භාරයේ සභාපති සජීව චාමිකර වැඩිදුරටත් සඳහන් කළේ.