මහ ඇමති කොන්දේසි විරහිතව සමාව ගත යුතුයි - හකීම්

මහ ඇමති කොන්දේසි විරහිතව සමාව ගත යුතුයි - හකීම්
Image caption මහ ඇමති කොන්දේසි විරහිතව සමාව ගත යුතුයි - හකීම්

ත්‍රිකුණාමලය සාම්පූර්හි පාසල් උත්සවයක් අතරතුර නාවික හමුදා අණදෙන නිළධාරියකු අපහසුතාවට පත් වන අයුරින් සිදු කළ බව පැවසෙන ප්‍රකාශය සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය නෂීර් අහමඩ් කොන්දේසි විරහිතව සමාව ගත යුතු බව ඔහු නියෝජනය කරන මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රාහුෆ් හකීම් අවධාරණය කරයි.

ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ උත්සවයක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ එසේ සමාව ගැනීමෙන් අනතුරුව සිදුවීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් සොයා බැලිය හැකි බවයි.

ඇතැම් පිරිස් දේශපාලන වාසි ලබා ගැනීම සඳහා මෙවැනි සිදුවීම් යොදා ගන්නා බවත් එවැනි පාර්ශවවලට ඒ සඳහා අවස්ථාව ලබා දීමෙන් වැළකී සිටිය යුතු බවත් අමාත්‍ය රාවුෆ් හකීම් පැවසුවේය.

'අපි සමග ගැටෙන්නට සුදානම් වෙමින් සිටින ඇතැම් පාර්ශවවලට අපිම ගිහින් හසු වන එක සිදු නොවිය යුතුයි. දැන් සමාව ඉල්ලුවත් ඒ තුළම කොටු වී සිටින තත්වයක් තිබෙනවා. මොකද මීට පිටුපසින් වෙනත් දේශපාලන අරමුණු තිබිය හැකියි' ඔහු සඳහන් කළේය.

'දේශපාලන වාසි'

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගනු ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

'පසුගිය මහ මැතිවරණ සමයේ අපි භූතයෝ වල දැම්මා. ඔවුන් නැවත ජීවය ලබා ගන්න දරන උත්සාහයට ඉඩ සලසන්නේ නැතිව ඉන් මිදීමට මග සෙවිය යුතුයි'

මුස්ලිම් කොංග්‍රසයේ නායකයා වශයෙන් රටේ ස්ථාවරභාවය, සුළු ජාතීන්ගේ සහ සෙසු සමාජයේ ගෞරවය පිළිබඳ අවධානය යොමු කොට තමා මීට මැදිහත් වූ බවයි අමාත්‍ය රාවුෆ් හකීම් වැඩිදුරටත් කියා සිටියේ.

එම සිදුවීම සම්බන්ධයෙන් නාවික හමුදා නිලධාරියා සහ තමා යන දෙපාර්ශවයම එකිනෙකාගෙන් සමාව ගත යුතු බවයි නැගෙනහිර පළාත් මහ ඇමතිවරයා සෙනසුරාදා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙත කරුණු පැහැදිලි කරමින් යවන ලද ලිපියේ සඳහන් වූයේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර