'නඩු අට දහසක් නීතිපති ළඟ නැවතිලා'

යුක්තිය
ඡායාරූප ශීර්ෂ වැකිය,

'යුක්තිය පමා කිරීම යුක්තිය ප්‍රතික්ෂේප කිරීම හා සමානයි'

නඩු ගොනු අට දහසක් පමණ මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුවේ සිර වී ඇති බව හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර පවසයි.

මෙය හෙළිදරව් කරමින් පළවූ මාධ්‍ය වාර්තාවක් උපුටා දක්වමින් ඔහු බීබීසීයට කියා සිටියේ යුක්තිය පමා කිරීම යුක්තිය ප්‍රතික්ෂේප කිරීම හා සමාන බවයි.

'නීතිපති දෙපාර්තමේන්තුවේ අට දාහක් තියෙනවනම් අපිට හිතාගන්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ, මහාධිකරණයේ, දිස්ත්‍රික් අධිකරණයේ, මහේස්ත්‍රාත් අධිකරණයේ, කම්කරු විනිශ්චය සභාවල කොයිතරම් ෆයිල් තියෙනවද කියල. ඊළඟට පහල මට්ටමේ පොලිසිය ළඟ තියෙන පැමිණිලි ගණන?' හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර ප්‍රශ්න කළේය.

'හේතුව, අධිකරණය ස්වාධීනයි කියල කියන නිසා කවුරුවත් කතා කරන්න යන්නේ නැහැ. මාධ්‍යවල ලියනකොටත් පරිස්සමෙන් ලියන්නේ. වෘත්තීය සමිති ඇත්තෙත් නැහැ. ඔවුන්ගේ පැත්තෙන් මේ ස්වාධීනත්වය කියන එක උපරිමයෙන් පාවිච්චි කරනවා තමන්ට උවමනා විදියට කටයුතු කරන්න. පාර්ලිමේන්තුවේත් අධිකරණය ගැන ප්‍රශ්න අහන්න බැහැනේ. ප්‍රශ්නේ තියෙන්නේ මේවා මිනිස්සුන්ගේ ප්‍රශ්න.'

ඩිව් ගුණසේකර
ඡායාරූප ශීර්ෂ වැකිය,

කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයෙකු වන ඩිව් ගුණසේකර

මේ ප්‍රශ්නය විසඳීමෙහි ලා විධායකය, අග්‍ර විනිශ්චයකාරවරයා, නීතිපතිවරයා ඇතුළු සියලු දෙනා වගකිය යුතු බවයි ඔහු පවසන්නේ.

අගවිනිසුරු පත්කිරීමේදී වීදි බට නීතිඥවරුන් පවා මේ ප්‍රශ්නය ඉදිරියේ නිහඬ බව හිටපු ඇමතිවරයා ප්‍රකාශ කළේය.

'යුක්තිය ප්‍රමාද වෙන තරමට නඩු පමා වෙන තරමට වාසිය නීතීඥවරුන්ට. ඒ නිසා ඔවුන් සොයන්නෙත් නැහැ.' කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයෙකු වන ඩිව් ගුණසේකර පැවසීය.