වකුගඩු ජාවාරම: 'වෛද්‍යවරුන් අත්අඩංගුවට ගන්න'

kidney suspects
Image caption අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් පොලිසිය කියා සිටියේ නීති විරෝධී වකුගඩු ජාවාරම පිළිබඳ නීතිපති උපදෙස් මත පරීක්ෂණ පවත්වන බවයි

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සිදු වූ බව පැවසෙන නීති විරෝධී වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය නම් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල සහ අදාළ සැත්කම් මෙහෙය වූ ප්‍රමුඛ පෙළ වෛද්‍යවරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු බව විත්තියේ නීතිඥ ලක්ෂාන් ඩයස් පවසයි.

ඔහු ඒ බව කියා සිටියේ වකුගඩු ජාවාරමේ නිරත වූ බවට සැක පිට රිමාන්ඩ් භාරයට පත් කර සිටින ඉන්දීය ජාතිකයන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේදී.

ඉන්දීය ජාතික සැකකරුවන් ඇප මත මුදා හරින ලෙස එහිදී විත්ති පාර්ශවයේ නීතිඥ ලක්ෂාන් ඩයස් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර පොලිසිය එම ඉල්ලීමට විරෝධය පළ කළේය.

වකුගඩු ජාවාරම සිදු කිරීම සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව යොදා ගෙන ඇත්දැයි සොයා බැලීමට පරීක්ෂණ පවත්වන ලෙස නීතිපතිවරයා උපදෙස් දී ඇති බැවින් ඇප ඉල්ලීමට විරෝධය පළ කරන බවයි පොලිසිය කියා සිටියේ.

පසුගිය කාලයේ සිදු කරන ලද වකුගඩු සැත්කම්වලට අනුමැතිය ලබා දී ඇති සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල ඇතුළු ප්‍රමුඛ පෙළ වෛද්‍යවරුන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා පොලිසිය කටයුතු නොකොට සැකකරුවන් දින 90 කට වඩා රිමාන්ඩ් භාරයේ තබා ගෙන සිටීම යුක්ති සහගත නොවන බව නීතිඥ ලක්ෂාන් ඩයස් පැවසීය.

ඉහත කී සැකකරුවන් දිගින් දිගටම රිමාන්ඩ් භාරයේ තබා ගැනීම තුළින් ඔවුන්ට අසාධාරණයක් සිදු වන බැවින් පරීක්ෂණ කටයුතු කඩිනම් කරන මෙන් මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.

ඒ අනුව සැකකරුවන් ජුනි 14 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළ අධිකරණය එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් පොලිසිය දැනුම් දුන්නේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්