රථ වාහන මිල ඉහළ යෑම ගැන මුදල් ඇමති

රථ වාහන මිල ඉහළ යෑම ගැන මුදල් ඇමති

බදු සංශෝධන යටතේ මිල ගණන් අඩු වූ ආනයනික මෝටර් රථ පිළිබඳ කතා නොකරන්නේ ඇයිදැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක ප්‍රශ්න කරයි.

ආනයනික රථ වාහන සඳහා වන බදු සංශෝධනයෙන් මෝටර් රථ වර්ග හතළිස් හයක මිල වැඩි වී ඇතත් ඇතැම් හයිබ්‍රිඩ් මාදිලි ඇතුළු මෝටර් රථ පහළොවක මිල අඩු වී ඇති බවයි මුදල් අමාත්‍යවරයා පවසන්නේ.

'කාර් හතළිස් හයක මිල වැඩි වෙලා තිබෙනවා. පහළොවක මිල අඩු වෙලා තිබෙනවා. ඇයි ඒ ගැන කතා කරන්නේ නැත්තේ.' මුදල් අමාත්‍ය රවී කරුණානායක කියා සිටියේ බීබීසීයේ අසාම් අමීන් සමග සාකච්ඡාවකට එක් වෙමිනි.

'BMW, Mercedes Benz, Jaguar'වැනි මෝටර් රථවල මිල ඉහළ යෑම පමණක් මතු කර පෙන්වීම සාධාරණ නොවන බව මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය.

සැමට මෝටර් රථයක් මිල දී ගත හැකි වාතාවරණයක් සකසන බවට එක්සත් ජාතික පක්ෂය පසුගිය මහ මැතිවරණ සමයේ ලබා දුන් පොරොන්දුව සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ මුදල් අමාත්‍යවරයා කියා සිටියේ ඉහත කී මෝටර් රථ පහළොවේ මිල ගණන් තිබුණාටත් වඩා අඩු වී ඇති බවයි.

ත්‍රිරෝද රථ මිල ලක්ෂ හතරකින් වැඩි වී ඇති බවට පළ වන වාර්තා අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කළේය.

'පෙට්‍රල් ත්‍රිරෝද රථවල මිල රුපියල් තිස්දාහකින් වැඩි වී තිබෙනවා. ඩීසල් ත්‍රිරෝද රථවල මිල රුපියල් හැත්තෑ දාහකින් වැඩි වෙලා තිබෙනවා' මුදල් අමාත්‍ය රවී කරුණානායක වැඩිදුරටත් කියා සිටියේය.