'සිගරට් බද්ද අඩු වීම දුම්පානය ඉහළ යාමට හේතුවක්'

Image copyright Getty Images
Image caption 'සිගරට් බද්ද අඩුවීම දුම්පානය ඉහළ යාමට හේතුවක්'

පසුගිය වසර පහළොවක කාලය තුළ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනයට සමානුපාතව, එසේ නැතහොත් පාරිභෝගික බලයට සමානුපාතිකව, සිගරට් වල මිල වැඩි නොවීම සහ 80% කට පැවති දුම්වැටි සඳහාවූ බද්ද 67% දක්වා අඩුවී තිබීම ශ්‍රී ලංකාවේ ජනතාව තුළ දුම් පානය ඉහළ යාමට හේතුවක් වී ඇති බව ආර්ථික විශේෂඥයෙකු වන ආචාර්ය නිශාන් ද මෙල් පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර ඇත්තේ දුම්වැටි සඳහා බදු මුදල අවම වශයෙන් 80% දක්වා වැඩිවිය යුතු බව යැයි සංදේශයේ තිසර රතුවිතාන සමග දුරකථනය ඔස්සේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.

ඔහු සමග පැවති සාකච්ඡාවට සවන්දෙන්න

මිළ පාලනය අත්හිටුවීම

1980 වසරේ පමණ සිට 2000 වසර දක්වා වූ කාලය තුළ සිගරට් වල මිල පාලනය සුදුසු තත්වයෙන් පැවති බව පැවසූ ආචාර්ය නිශාන් පැවසුවේ දලවශයෙන් 1980 දී ඒක පුද්ගල ආදායමෙන් මිලදීගත හැකි සිගරට් ප්‍රමාණය 9500 පමණවූ අතර 2000 වසරේ දී මිළ පාලනය අත්හිටුවීම නිසා සාමාන්‍ය පුද්ගලයෙකුගේ ආදායමෙන් සිගරට් 17, 300 ක් පමණ මිල දී ගත හැකිවී ඇති බවයි.

ඒ අනුව පාරිභෝගික බලය 80% කින් පමණ ඉහළ ගොස් ඇති බවයි ඔහු සඳහන් කළේ.

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ සෑම අය-වැයකදීම දුම්වැටි මිල ඉහළ දැමීමක් සිදුවන බවට ජනතාව අතර විශ්වාසයක් පවතිනවා නේදැයි විමසූ විට ආචාර්ය නිශාන් ද මෙල් පවසා සිටියේ ජනතාව එසේ සිතන්නේ මාධ්‍ය මගින් එලෙස පවසන නිසා බවයි.

"ඒක ජනතාව හිතාගෙන ඉන්නෙ ඒක මාධ්‍යයෙන් ජනතාවට කියන නිසා. හැබැයි ඒක ඇත්තද බොරුද කියල අපි ජනතාවට විග්‍රහ කරලා නැහැ. එකක් තමයි රජයට බලයක් නැහැ සිගරට් වල මිල වැඩිකිරීමට. ඒක මධ්‍යයෙන් පතුරුවන වැරදි ප්‍රචාරයක්. බදු වැඩිවන ගැසට් නිවේදන විතරයි තියෙන්නෙ." යනුවෙනුයි ඔහු පැවසුවේ.

බදු ප්‍රතිශතය

වැට් (VAT) බද්ද වැනි අනෙකුත් බදු ප්‍රතිශතයක් වශයෙන් වැඩිවුවද සිගරට් වල බද්ද නියම කෙරෙන්නේ ප්‍රතිශතයක් වශයෙන් නොව ඒකකයකට වැඩිවන මිළක් වශයෙන් (සිගරට් එකට රුපියල් 20 ක් 22ක්, රුපියල් 10 ක් ආදී වශයෙන්) බව පැවසූ ඔහු කියා සිටියේ සිගරට් මිලට සාපේක්ෂව බදු ප්‍රතිශතය වැඩි නොවීම ප්‍රශ්නයක් වී ඇති බවයි.

ඉන් අදහස් වන්නේ සිගරට් වල මිල තවදුරටත් ඉහළ දැමිය යුතු බවදැයි විමසා සිටි විට ඔහු පැවසුවේ පසුගිය වසර 15 ක පමණ කාලය තුළ ඒක පුද්ගල ආදායමට සරිලන අයුරින් මිල ඉහළ ගොස් නැති බවයි.

බදු සූත්‍රයක්

"මිල වැඩිවීමේ සීග්‍රතාවයක් තියනව. හැබැයි ඒ වගේම බදුත් මිලට සාපේක්ෂව වැඩිවෙලා නැහැ. දැන් අපි බැලුවොත් 2001, 2002, 2003, වසර වල දුම්වටියකට වැටෙන මුළු බද්ද 80% කට අධික ප්‍රමාණයක්. ඒ කියන්නෙ 70% හෝ 71% ක් වැටුන භාණ්ඩ බද්දෙන්, ඊට උඩින් වැට් එකයි, එන් බී ටී එකයි වැටුන. හැබැයි දැන් වෙලා තියෙන්නෙ 80% ගණන් වල තිබුණු බද්ද 67%ට බස්සල" යනුවෙනුයි ඔහු කියා සිටියේ.

ලංකාවේ සිදුවී ඇති සමීක්ෂණ වලට අනුව සිගරට් මිල 10% කින් වැඩිකළ හොත් පරිභෝජනය 05% කින් අඩුවන බව සනාථ වී ඇති නිසා ලංකාවේ ජනතාව දුම්වැටියෙන් මුදා ගැනීමට නම් අවශ්‍යවන්නේ මිල සුත්‍රයක් නොව බදු සුත්‍රයක් බවයි ආර්ථික විශේෂඥයෙකු වන ආචාර්ය නිශාන් ද මෙල් පවසා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර