අලි මංකඩ යළි අලින්ට
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අලි මංකඩ යළි අලින්ට

අලි මිනිස් ගැටුම අවම කිරීමේ අරමුණින් අලි ඇතුන් ගමන් කළ පැරණි මාර්ග යළි ඔවුන් වෙත විවෘත කර දීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග ඊයේ (31) පැවති සාකච්ඡාවේ දී පෙරහැර මංගල්‍යය සඳහා හීලෑ අලි ඇතුන් අයිතිකරුවන්ගෙන් ලබා ගැනීමටත් අනුමැතිය හිමි වූ බව කී අමාත්‍යවරයා ඉදිරියේ දී පෙරහැර වෙනුවෙන් ප්‍රමාණවත් පරිදි අලි ඇතුන් ලබා දීමට කටයුතු කරන බවයි කියා සිටියේ.

"අලි මිනිස් ගැටුමට ප්‍රධාන හේතුවක් වන්නේ එම සතුන්ගේ වාසස්ථාන මිනිසා විසින් ආක්‍රමණය කිරීමයි. අතීතයේ වගේ නෙවෙයි වඳුරන්, මුවන්, මොණරුන්, කදුරක දිවියන් වැනි සතුන් බහුලව මිනිස් වාසස්ථාන කරා පැමිණෙනවා. ඒ නිසා අලි ඇතුන්ගෙන් සිදු වන හානි අවම කිරීමට එම සත්වයන් අතීතයේ ගමන් කළ අලි මංකඩ යළි විවෘත කිරීමට කැබිනට් අනුමැතිය ඊයේ (31) හිමිවුණා. ඒ අනුව එහි පදිංචිකරුවන් ඉවත් කිරීමටත් ඔවුන්ට විකල්ප ඉඩම් ලබා දීමටත් අපි කටයුතු කරනවා" අමාත්‍යවරයා පැහැදිළි කළේය.

අද පෙරවරුවේ මහනුවර දී අස්ගිරි පාර්ශවයේ මහා නායක ඇති පූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ හමුවීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවක් ඇමතූ අමාත්‍යවරයා පැවසුවේ මෙරට හීලෑ අලි ඇතුන්ගේ හිඟයක් නොමැති අතර අමාත්‍යංශය විසින් සිදු කරනු ලැබූ සමීක්ෂණයක දී හීලෑ අලි ඇතුන් 148 දෙනෙකු රට තුළ සිටින බව අනාවරණය වී ඇති බවයි.

'හීලෑ අලි ඇතුන්ගේ හිඟයක් නෑ'

අයිතිකරුවන් යටතේ සිටින එම හීලෑ අලි ඇතුන්ගෙන් වයස අවුරුදු 60 වැඩි ඇතුන් දස දෙනෙකු පෙරහැර සඳහා යොදා ගැනීමට නොහැකි වුනත් ඉතිරි ප්‍රමාණය ලංකාවේ ව්‍යාප්ත ප්‍රධාන පෙරහැරවල් වෙනුවෙන් යෙදවීමට සිය අමාත්‍යංශය කටයුතු කිරීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ඊට අමතරව පෙරහැර මංගල්‍ය සඳහා යොදා ගැනීමට සුදුසු අලි ඇතුන් පින්නවල අනාථාගාරයෙන් වාර්ෂික බලපත්‍ර ක්‍රමය යටතේ ලබා ගැනීමටත් තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශය පියවර ගැනීමට නියමිතයි.

'රජයෙන් නිසි යාන්ත්‍රණයක් අවශ්‍යයි'

වාණිජ වගාවන් ව්‍යාප්ත කිරීම, අනවසරයෙන් ඉඩම් අත් පත් කර ගැනීම සහ විවිධ සංවර්ධන කටයුතු කිරීම සඳහා විශාල වශයෙන් වනන්තර හෙළි කිරීම් සිදු වන බැවින් අලි ඇතුන් ජීවත් වන භූමි ප්‍රදේශ ආරක්ෂා කිරීමට රජය මැදිහත් විය යුතුව පවතින බව පරිසර සංරක්ෂණ භාරයේ සභාපති සජීව චාමිකර පවසයි.

ඔහු මේ බව කියා සිටියේ නව කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් හම්බන්තොට වාර්තාකරු රාහුල් සමන්ත හෙට්ටිආරච්චි සමග සාකච්ඡාවකට එකතු වෙමින්.

ලබා දී ඇති කැබිනට් අනුමැතියට අනුව අලි ඇතුන්ට නිදහසේ ගමන් කිරීමට අලි මංකඩ විවෘත කිරීමට නම් එම ප්‍රදේශ වල පවතින අලි මිනිස් ගැටුම පාලනය කිරීමටත්, ජල පෝෂක ප්‍රදේශ වල ආරක්ෂාව සහතික කිරීමටත් රජය නිසි යාන්ත්‍රණයක් රාජ්‍ය ආයතන වලට ලබා දිය යුතු බවයි සජීව චාමිකර පෙන්වා දෙන්නේ.