'එජාප ආධාරකරුවන්ට රැකියා හිඟයක්' -කිරිඇල්ල

Image caption අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කියා සිටියේ චෝදනා ඔප්පු කිරීම සඳහා තමා ළඟ ලිඛිත සාක්‍ෂි පවතින බවයි.

තම පළාතේ එජාප ආධාරකරුවන්ට රැකියා හිඟයක් පවතින බැවින් මාර්ග සංවර්ධන අධිකාරිය හරහා පිරිසකට පත්වීම් ලබා දුන් බව ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා පවසයි.

මෙම පත්වීම් සමඟ 'පටලවා ගෙන' තමන්ට උපදේශකවරුන් පනස් හය දෙනෙක් සහ සම්බන්ධීකරණ ලේකම්වරුන් 94 දෙනෙක් සිටින බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කර ඇති බවයි ඔහු පවසන්නේ.

මාර්ග සංවර්ධන අධිකාරිය හරහා එජාප ආධාර කරුවන්ට ලබාදුන් පත්වීම් අතර උපදේශකවරුන් සහ සම්බන්ධීකරණ ලේකම්වරුන් සිටින්නේදැයි බීබීසීයේ තිසර රතුවිතාන ප්‍රශ්න කළ විට කිරිඇල්ල ඇමතිවරයා මෙසේ පිළිතුරු දුන්නේය.

'ඔයාට සිංහල තේරෙන්නෙ නැද්ද? මං ඔයාට කිව්වනෙ. මට ඉන්නේ සම්බන්ධීකරණ ලේකම්වරු දෙන්නයි. ඒ ගොල්ලෝ මේ නම් දාගෙනනේ. රැකියා දුන්න අය ඉන්නවා. නමුත් ඒ අය සම්බන්ධීකරණ ලේකම්වරු නෙමෙයි.'

කිරිඇල්ල ඇමතිවරයාගේ සහ ජවිපෙ නායකයාගේ හඬ පටයට මෙතැනින් සවන් දෙන්න

ජනතා විමුක්ති පෙරමුණ අභූත චෝදනා නගන්නේදැයි සොයා බැලීම සඳහා අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ඇමතූ විට ඔහු කියා සිටියේ චෝදනා ඔප්පු කිරීම සඳහා තමා ළඟ ලිඛිත සාක්‍ෂි ඇති බවයි.

'ඒ අයගේ නාමලේඛනය, ඒ අය ගන්නා වැටුප් පත් සියල්ල මා සතුව තියෙනවා. ඒ අය අතර හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පමණක් නෙමෙයි මිලේනියම් සිටි වැටලීමට සම්බන්ධ වුන පොලිස් නිලධාරීන් පවා සිටිනවා. සාමාන්‍ය පෙළ අසමත් වූ අයත් සිටිනවා.' ජවිපෙ නායකයා බීබීසීයට පැවසීය.

'අපේ රටේ තරුණ පරම්පරාව විරැකියාවෙන් පෙළෙනවා. පසුගිය පාලන සමයේ ඒ තරුණ තරුණියන්ට රැකියා ලබා දෙනවා වෙනුවට නිල් බලකාය නමින් අටවා ගත් සංවිධානය හරහා තමයි සාමාජිකයන්ට රැකියා ලබා දුන්නේ. එම තත්වය තමයි රටේ ජනතාව පරාජය කළේ. දැන් කිරිඇල්ල ඇමතිවරයා කියනවා ඔහු රැකියා ලබා දුන්නේ එජාප සාමාජිකයන්ට කියල. මේ ආණ්ඩුවේ ලේබලය බවට පත් වෙලා තිබුනේ යහපාලනය. යහපාලනය කියන්නේ තමන්ගේ ආධාරකරුවන්ට රස්සා දෙන එක නෙමෙයි. තරුණයන්ට රැකියා ලබා දීමේ විධිමත් ක්‍රම වේදයක් තිබිය යුතුයි.තමන් යහපාලනය කියල එල්ලන් ඉන්නේ බෝඩ් ලැල්ලක් කියල කිරිඇල්ල මන්ත්‍රීවරයා විසින්ම ඔප්පු කරල තියෙනවා.' අනුර කුමාර මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්