ලකුණු සීමා කෙරෙන ක්‍රිකට් පිත්තක්

Image caption ක්‍රිකට් පිති නිෂ්පාදනය

ක්‍රිකට් පිත්තේ ප්‍රමාණය සම්බන්ධයෙන් අලුත් නීති රීති සම්පාදනය කරන මෙන් ඉදිරිපත් වී ඇති ඉල්ලීමකට ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයේ (ICC) සහයෝගය ලැබී ඇත.

එම තීරණය ගනු ලැබ තිබෙන්නේ මුල් පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයන් ගණනාවක් විසින් කරන ලද ඉල්ලීමක් අනුවයි.

ක්‍රිකට් දැවැන්තයන් පිරිසක් විසින් ඉහත කී ආකාරයේ ඉල්ලීමක් කරනු ලැබ තිබෙන්නේ පිතිකරුවන් විසින් 'පමණ ඉක්මවා' ලකුණු රැස් කිරීම් පිළිබඳව අවධානය යොමු කිරීමෙන් අනතුරුවයි.

ලංඩන් නගරයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වුන දින දෙකක සාකච්ඡාවකින් අනතුරුව ඉහත කී එකඟතාවය ඇති වූ බවයි වාර්තා වන්නේ.

Image copyright Empics
Image caption වේගයෙන් ලකුණක් සඳහා

ක්‍රිකට් ක්‍රීඩාවට බැඳුන නීති රීති සම්පාදනයේ බලතල තවමත් හිමි වන්නේ එංගලන්තයේ 'මාර්ලිබෝන්' ක්‍රීඩා සමාජයට වන අතර එම ක්‍රීඩා සමාජය විසින් ක්‍රිකට් පිත්තේ ප්‍රමාණය සහ ස්වභාවය ශ්‍රේණිගත කිරීමට පියවර ගනු ලබන බව ජාත්‍යන්තර ක්‍රිකට් පාලකමණ්ඩලය පවසයි.

ක්‍රිකට් පිත්තේ උස සහ පළල සම්බන්ධයෙන් දැනට සීමාවන් බල පැවැත්වෙන නමුත් පිත්තක ඝනකම (depth) සම්බන්ධයෙන් එවැනි නිර්දේශයක් බල නොපැවැත්වෙයි.

පිතිකරුවන්ට හතරේ සහ හයේ පහර එල්ල කරමින් ඉහල ලකුණු සංඛ්‍යාවන් වාර්තා කළ හැකි මට්ටමින් ('sweet spots') ක්‍රිකට් පිති නිර්මාණය කිරීමට නිෂ්පාදකයන් 'ශූර' වී ඇති බවයි ක්‍රිකට් විශේෂඥයන් පෙන්වා දෙන්නේ.

ක්‍රීඩාවෙන් විශ්‍රාම ගෙන සිටින ක්‍රිකට් ක්‍රීඩා දැවැන්තයෙක් කියා සිටියේ අද පිති කරුවන්ට ඉහල මට්ටමේ ලකුණු සංඛ්‍යාවන් වාර්තා කිරීම ඉතා පහසු කාර්යයක් වී ඇති බවයි.