රණවිරුවන් විකුණාගෙන කන පිරිසක් -අනෝමා

Image copyright BBC Sport
Image caption මගේ ස්වාමි පුරුෂයා ඇදගෙන ගිහින් හිරේ දානකොට ඒ අය කොහෙද හිටියේ -අනෝමා ෆොන්සේකා

දේශපාලන වශයෙන් යන එන මං නොමැති ඇතැම් දේශපාලනඥයන් රණවිරුවන් 'විකුණා ගෙන කන්නට' පටන් ගෙන ඇති බව රණවිරු සේවා අධිකාරියේ සභාපතිනිය ප්‍රකාශ කළාය.

නැගෙනහිර මහ ඇමතිවරයා සහ නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අතර ඇති වූ සිදු වීම 'අහඹු සිදුවීමක්' බවත් ඉන් දේශපාලන වාසි ලබා ගැනීමට ඇතැමුන් උත්සාහ කරන බවත් රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා පැවසුවාය.

'මේ කෑකෝ ගහන අය මගේ ස්වාමි පුරුෂයා ඇදගෙන ගිහින් හිරේ දානකොට ඒ අය කොහෙද හිටියේ. රණවිරුවෙක් කියන නාමයක්වත් ගෑවුනේ නැහැනේ ඒ වෙලාවේ. සේරම දේශපාලන වාසියට තමයි කෙරුනේ. එතකොට කට වහගෙන හිටියා. මේ පුංචි සිද්ධියක් අල්ලාගෙන කෑගහල තමන්ගේ නම ඉස්මතු කර ගන්න තමයි හදන්නේ.' බීබීසීයේ තිසර රතුවිතාන සමඟ කළ සාකච්ඡාවක දී ඇය ප්‍රකාශ කළාය.

විශේෂ වරප්‍රසාද කාඩ් පත

රණ විරු සේවා අධිකාරිය මගින් ආබාධිත හමුදා භටයන්ට සහ මියගිය භටයන්ගේ පවුලේ අයට ලබා දීමට යන විශේෂ වරප්‍රසාද කාඩ් පත පිළිබඳව දැනුවත් කරමිනුයි අනෝමා ෆොන්සේකා මේ බව කියා සිටියේ.

එම කාඩ් පතට වට්ටම් ලබා දීම සඳහා ආයතන පනස් දෙකක් දැනටමත් එකඟතාවය පළ කර තිබේ.

දුම්රිය ගාස්තු සඳහා සියයට පනහක වට්ටමක් ලබා දීමට ද ගමනාගමන අමාත්‍යවරයා එකඟ වූ බවයි රණවිරු සේවා අධිකාරියේ සභාපතිනිය පවසන්නේ.

බීබීසී යෙන්