කඳවුර පවත්වා ගෙන ගියේ ප්‍රමිතියක් සහිතව - හමුදාව
සාලාව හමුදා කඳවුරේ අවි ගබඩාව පුපුරා යෑමෙන් ඇති වූ විනාශය මෙපමණ මට්ටමකින් හෝ සීමා වූයේ එය නියමිත ප්‍රමිතියකට අනුව පවත්වා ගෙන ගිය හෙයින් යැයි ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.
හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර ඒ බව කියා සිටියේ තුනී ලෑලි සංස්ථාවට අයත්ව තිබූ ඉහත කී හමුදා කඳවුර පිහිටි ගොඩනැගිලි සංකීර්ණය අවි ගබඩාවක් පවත්වා ගෙන යෑම සඳහා උචිත නොවන බවට ඇතමුන් නගන චෝදනා පිළිබඳ සංදේශය විමසූ අවස්ථාවේදී.
අදාළ ගොඩනැගිලි සංකීර්ණය යුද හමුදාවට පවරා ගැනීමේදී අවශ්‍යතාවයන්ට ගැළපෙන අයුරින් නිසි ක්‍රමවේදයකට අනුව කටයුතු කොට ඇති බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.
'විශේෂයෙන්ම පතොරම් ගබඩාව නිසි ක්‍රමවේදයකට, පිළිගත් ප්‍රමිතියට අනුකූලව සකස් කරලා තිබෙනවා. ඒ නිසා තමයි මේ විනාශකාරී තත්වය පාලනය කර ගැනීමට හැකි වූයේ. මේ සිදුවීමෙන් එක් අයකු පමණයි මිය ගොස් තිබෙන්නේ' ඔහු සඳහන් කළේය.
'මූලික පරීක්ෂණ උසාවිය' විසින් ලබා දෙන නිරීක්ෂණවලට අනුව ගින්නට සහ පිපිරීමට හේතු වූ කරුණු පිළිබඳ නිගමනයකට පැමිණිය හැකි බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
දිනේෂ් ගුණවර්ධන
මේ අතර ගින්නට හේතු වූ කාරණා පිළිබඳ සොයා බැලීම සඳහා පූර්ණ පරීක්ෂණයක් සිදු කරන මෙන් සාලාව යුද හමුදා කඳවුර ආසන්නයේ බොරලුගොඩ වලව්වේ වැසියකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.
'හමුදාව අපේ රටේ කොඳු නාරටිය නිසා, මෙවැනි දෙයක් වීම මුළු ජාතියම විමතියට, තිගැස්සීමට පත් වූ අවස්ථාවක්' හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.