අගමැති සාලාව යුද පරිශ්‍රයේ චාරිකාවක

Image copyright Ranil Wickramasinghe/ FB
Image caption සාලාව පරිශ්‍රයට ගිය අගමැතිවරයා බොරලුගොඩ වලව්වේ

කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ පැතිර ගිය ගින්නෙන් එහි අවි ගබඩාව පිපිරීමේ දී හානි සිදු වූ මහජන නිවාස රජයේ වියදමින් අලුත් වැඩියා කිරීමට පියවර ගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඊයේ (05) ඇති වූ හදිසි අනතුර සිදු වූ කලාපයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අගමැතිවරයා කියා සිටියේ 'සහමුළින්ම විනාශ වී ගිය ගෙවල් යළි ඉදි කර ගැනීමට රජයෙන් මුදල් සපයන' බවයි.

හානි සිදු වී ඇති කලාපයේ ජන ජීවිත යථා තත්වයට ගෙන ඒම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ පැවැත්වූ සාකච්ඡා වලින් අනතුරුව ආණ්ඩුව පියවර ගනිමින් ඇති බව සඳහන් කළ අගමැති රනිල් වික්‍රමසිංහ 'අවශ්‍ය ජනතාවට ආහාර සහ ජලය සම්පාදනයට කටයුතු කෙරෙමින් ඇති' බවත් සඳහන් කළේය.

අවි ගබඩාව පුපුරා යාමේදී ග්‍රාම සේවක කොට්ඨාශ නවයකට එය බල පා ඇති අතර එම කලාප වලින් කොටසකට ඇතුල් විය හැකි තත්වයක් මේ වන විට පවතින බවයි අගමැතිවරයා පවසන්නේ.

Image caption මෙවැනි අවි විසිර තිබුණි

යුද හමුදාවේ අවසරය ලැබීමෙන් අනතුරුව සෙසු කලාප වලටත් මහජනයාට ඇතුල් විය හැකි බව සඳහන් කළ අගමැති රනිල් වික්‍රමසිංහ යුද කඳවුරේ පාසල් දෙක හැර ඉතිරි පාසල් හෙට පටන් විවෘත කෙරෙන අතර ආණ්ඩුවේ කාර්යාල කටයුතු ද ඒ සමඟ ආරම්භ කෙරෙන බවයි සඳහන් කළේ.

විනාශයේ තරම

සාලාව හමුදා කඳවුරේ බොහෝ නිවාස ගිනිගෙන විනාශව ඇති අතර තවත් නිවාස වල බිත්ති පුපුරා වහල කැඩී ගොස් ඇති බවයි ප්‍රාදේශීය වාර්තාකරු අජිත්ලාල් ශාන්ත උදය පවසන්නේ.

අවට මාවත් ගෙවතු සහ නිවාස පුරා අලු විසිරී ඇති ආකාරය දක්නට ලැබෙන බවත් ඔහු පවසයි.

Image caption මෝටාර් උණ්ඩයක්

'ගෙවතු සහ ඉඩම්වල තැනින් තැන මෝටාර් උණ්ඩ වැටී තිබෙනවා. ඒවා ජීවී උණ්ඩ දැයි නිශ්චිතව කියන්නට බැහැ. එවැනි දේ දුටුවොත් ලං නොවන ලෙස ආරක්ෂක අංශ මහජනයාට අවවාද කරනව'අජිත් ලාල් ශාන්ත උදය පවසයි.

මාධ්‍යවේදීන්ට ද කඳවුර ආසන්නයට යාමට ඉඩ නොදුන් බවයි ඔහු පවසන්නේ.