මුදල් ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව ජය ගත හැකිද?
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

විශ්වාසභංගය: ජය කාටද?

සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් මුදල් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහාය ලබා දිය යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල පවසන අතර මුදල් අමාත්‍ය රවී කරුණානායක කියා සිටින්නේ විශ්වාසභංග යෝජනාව ආණ්ඩුවේ ශක්තිය පෙන්වීම සඳහා යොදා ගන්නා බවයි.

චෝදනා කීපයක් මුල් කර ගනිමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිස් හත් දෙනෙකු විසින් මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කථානායකවරයා වෙත භාර දෙනු ලැබුවේ පසුගිය මාර්තු 24 වනදායි.

එම යෝජනාව බදාදා විවාදයට ගැනීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් අදහස් පළ කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා ද ආණ්ඩුව වෙනුවෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක ද අඟහරුවාදා මාධ්‍ය සාකච්ඡා කැඳවා තිබිණ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිවලට එරෙහි වැඩපිළිවෙළේ නිර්මාතෘ වන මුදල් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කෙරෙන විශ්වාසභංග යෝජනාවට එම පක්ෂයේ සාමාජිකයන් සහාය දිය යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ.

පැවති පාලන සමයේ පැවති ජීවන වියදම දෙස බැලීමේ දී පැහැදිලි වෙනසක් දැක ගත හැකි බවත් එවකට පැවති මහින්ද රාජපක්ෂ පාලනය විසින් ගන්නා ලද ණය ගෙවීමට බදු ඉහළ දැමීමට සිදු වී ඇති බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවසීය.

විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක දැක්වූ අදහස් ඉහත වීඩියෝවේ දැක්වේ.

මුදල් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක දැක්වූ අදහස්.