කඳවුරේ ගින්න: හමුදාපති ඉවත් කළ යුතුද?

ආරක්ෂක ලේකම් සහ ගෝඨාභය රාජපක්ෂ
ඡායාරූප ශීර්ෂ වැකිය,

'මේ වගේම අවි ගබඩාවක් පිපිරුණා වව්නියාවෙත්. කිසිම ආරක්ෂක ලේකම්වරයෙක්වත් හමුදාපතිවරයෙක්වත් අස්වෙලා නැහැ'

කොස්ගම හමුදා කඳවුරේ ඇති වූ ගින්න හේතුවෙන් හමුදාපතිවරයා ඉවත් කිරීමේ අවශ්‍යතාවක් පැන නැගී නොමැති බව ආරක්ෂක ලේකම්වරයා පවසයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කර ඇති ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් වත්මන් ආරක්ෂක ලේකම්වරයා කියා සිටින්නේ මීට පෙරද මෙවැනි දේ සිදු වී ඇති නමුත් එවකට සිටි ආරක්ෂක ලේකම්වරු හෝ හමුදාපතිවරු ඉවත් වී නොමැති බවයි.

'ඔය වගේ සිදු වීම් යුද්දේ කාලෙත් සිදු වුනා. සමහර හමුදා කඳවුරුවල සිටි දහස් ගණන් හමුදා භටයන් ජීවිතක්ෂයට පත් වුනා. මේ වගේම අවි ගබඩාවක් පිපිරුණා වව්නියාවෙත්. ඒ අවස්ථාවල කිසිම ආරක්ෂක ලේකම්වරයෙක්වත් හමුදාපතිවරයෙක්වත් වගකීම භාර අරගෙන අස්වෙලා නැහැ. ඒ නිසා මේ අවස්ථාවේ දීත් එහෙම ප්‍රශ්නයක් පැන නගින්නේ නැහැ.' ආරක්ෂක ලේකම්වරයා බීබීසීයේ තිසර රතුවිතාන සමඟ පැවසීය.

තමා ආරක්ෂක ලේකම් තනතුරේ සිටියේ නම් හමුදාපතිවරයා ඉවත් කරන බවට, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළ බවයි මාධ්‍ය වාර්තා කර තිබුණේ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය,

හමුදාවේ ජීව ගුණය අඩුවෙලා -හිටපු ජනපති

හමුදාවේ ජීව ගුණය අඩු වී ඇති බවට හිටපු ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ මෙවැනි සිදුවීම් සහ ජීව ගුණය අතර සම්බන්ධයක් නොමැති බවයි.

'නැහැ, අපිට එහෙම එකක් නම් පේන්න නැහැ. ජීව ගුණය බොහොම හොඳට තියෙනවා. මේ රජය යටතේත් ඔවුන්ගේ මානසික ශක්තිය, ඔවුන් ධෛර්යය කිරීම් හොඳින් කරනවා.' ඔහු ප්‍රකාශ කළේය.

පතොරම් ගබඩාවකට යාබදව ආබාධිත සෙබළුන් පදිංචි කරවීම පිළිබඳව නම් 'ප්‍රශ්නයක්' පවතින බව ආරක්ෂක ලේකම්වරයා පිළිගත්තේය.