'වන අලි පොදු දේපළකි, විනිසුරන්ටත් නීතිය පොදුයි'

'වන අලි පොදු දේපළකි, විනිසුරන්ටත් නීතිය පොදුයි'
Image caption 'වන අලි පොදු දේපළකි, විනිසුරන්ටත් නීතිය පොදුයි'

නීති විරෝධී ලෙස අලි පැටවකු ළඟ තබා ගත් බවට චෝදනා ලැබ සිටින හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේට ඇප නියම කිරීමේදී නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා නීතියට පටහැනිව කටයුතු කර ඇති බවට ක්‍රියාධරයෝ චෝදනා කරති.

දූෂණ විරෝධී පෙරමුණේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමියන් එම චෝදනාව එල්ල කළේ, නීතිය සෑම අයකුටම එක සමාන ලෙසින් ක්‍රියාත්මක කරන්නැයි බලකරමින් කොළඹ පැවති නිහඬ විරෝධතාවය අවස්ථාවේ අදහස් දක්වමින්.

පරිසර සංවිධාන සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරී විසිනුයි අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට එම නිහඬ විරෝධතාවය සංවිධානය කර තිබුණේ.

කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කිර්ති තෙන්නකෝන් අදහස් දක්වමින් එය කිසිසේත්ම අධිකරණයේ ස්වාධිනත්වයට කරන බලපෑමක් නොවන බව අවධාරණය කළේය.

විරෝධය හමුවේ විරෝධය

Image caption 'අධිකරණයේ ස්වාධිනත්වයට බලපෑම් කිරීම' හෙලා දකිමින් තවත් විරෝධතාවයක්

එම විරෝධතාවයට සමගාමීව අධිකරණයේ ස්වාධිනත්වයට බලපෑම් කරන බවට චෝදනා කරමින් තවත් විරෝධතාවයක්ද ඒ අසලම පැවැත්විණ.

එහිදී අදහස් පළ කළ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නීතිවේදීන්ගේ සංගමයේ හිටපු සභාපති නීතිවේදී ගුණරත්න වන්නිනායක, අධිකරණයේ ස්වාධිනත්වයට එල්ල කෙරෙන බලපෑම් තරයේ හෙලා දකින බව පැවසීය.

යම් විනිසුරුවරයෙකුගේ තීන්දුවක් ගැන සෑහීමකට පත් නොවන්නේ නම් ඊට එරෙහිව ඉහල අධිකරණයේ පිහිට පැතීමට ඉඩකඩ තිබියදී මේ ආකාරයෙන් කටයුතු කිරීම හෙලා දකින බවත් ඔහු පැවසීය.

විරෝධතාවයන් පැවැත්වෙන අතරවාරයේ අධිකරණ සේවා කොමිසම ඉදිරිපස පොලිස් ආරක්ෂාව තර කර තිබුණ බවත් කේඑස් උදයකුමාර් සංදේශයට වාර්තා කළේය.