යාල දිවි දඩයම ගැන වනජීවී ඇමතිගේ විග්‍රහය

දිවියන් දඩයම් කිරීම
Image caption සංරක්ෂිත ඡායාරූපයක්

දිවියෙක් මරා දැමීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරුවන් පිරිසක් නිදහස් කිරීමට අමාත්‍ය සජිත් ප්‍රේමදාස උත්සාහ කළ බවට අසත්‍ය ප්‍රචාර ගෙන යන ජනමාධ්‍යවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව වනජීවී කටයුතු භාර අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා පවසයි.

යාල වනෝද්‍යානය තුළ සිදු වූ බව කියන ඉහත කී සිද්ධිය හා අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි වනජීවී කටයුතු භාර අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා අවධාරණය කරන්නේ.

එවැනි මාධ්‍ය වාර්තා හරහා සජිත් ප්‍රේමදාස ඇමතිවරයාට මඩ ගැසීමේ උත්සාහයක් පවතින බවයි ඔහු සඳහන් කළේ.

දිවියා මරා දැමූ පුද්ගලයන් සහ වනජීවී නිලධාරීන් අතර වෙඩි හුවමාරුවක් සිදු වී ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ යාල වනෝද්‍යානය දෙසින් වෙඩි හඬක් ඇසෙන බව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා තමාට දුරකථනය හරහා දන්වා සිටි බවයි.

වනජීවී නිලධාරීන් භාරයට පත් වන දඩයම් කරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කොට රිමාන්ඩ් භාරයේ තබා දඩයම් නියම කිරීමේ සම්ප්‍රදායක් පැවති බවත් ඇමතිවරයා කියා සිටියේය.

වනජීවී ජෙනරාල්

'ඒ නිසා ඒ පුද්ගලයන් දිගටම ඒ ව්‍යාපාර කර ගෙන යනවා. චක්‍රලේඛයක් යවා තිබෙනවා වනජීවී නිලධාරීන් වෙත වන අපරාධ පිළිබඳ තම පාලන ප්‍රදේශයේ පොලිසියට පැමිණිලි කළ යුතු බවට. අනතුරුව වනජීවී සහ පොලිසිය එකතු වී වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.'

අදාළ සිදු වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොදා ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් සොයා වැඩිදුර පරීක්ෂණ සිදු කරන ලෙස එදිනම තමා පොලිසියට දැනුම් දුන් බවත් ඇමතිවරයා සඳහන් කළේය.

ඉහත කී සිද්ධිය මුල් කර ගනිමින් වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සුමිත් පිලපිටිය ඉල්ලා අස් වීමේ ලිපිය භාර දී ඇති බවට පළ වන වාර්තා ද අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කරයි.

වන අලි සම්බන්ධයෙන් සිදු කෙරෙන සිය පර්යේෂණ හේතුවෙන් ඉල්ලා අස්වන බව දන්වා වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන් නමුත් තමා එය භාර නොගත් බවයි ඇමතිවරයා සඳහන් කළේ.

නීති විරෝධී ලෙස ළඟ තබා ගත් බවට චෝදනා එල්ල වන, මේ වන විට වනජීවී භාරයේ සිටින අලි පැටවුන් පෙරහැර කිරීම සඳහා ලබා දෙන්නේ නම් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සුමිත් පිලපිටිය මීට ඉහතදී ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කළ බවත් අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා වැඩිදුරටත් කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර