දමිළ ගැටළු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්ට

මහ ඇමතිවරයා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සමඟ
උතුරු නැගෙනහිර පළාත් දෙකට ෆෙඩරල් පාලන ක්‍රමයක් නිර්දේශ කිරීම ද ඇතුළුව ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් නොලද නිසා තමන් රජය කෙරෙහි තැබූ විශ්වාසය කෙමෙන් බිඳ වැටෙමින් පවතින බව උතුරු පළාත් සභාවේ මහ ඇමති සී.වී.විග්නේශ්වරන් පවසයි.
මහ ඇමතිවරයා එම ප්‍රකාශය කළේ ශ්‍රී ලංකාවේ සිටින බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩවුරිස්(James Dauris) අද (10) යාපනයේ සිදු කළ සංචාරයේ දී ඔහු සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී.
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩවුරිස් අද යාපනය දිසාපතිවරයා, රාජ්‍ය නිලධාරීන් සහ මහ ඇමතිවරයා සමඟ සාකච්ඡා කළේය.
දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නයට මෙන්ම උතුරේ දෙමළ වැසියන්ට අයත් ඉඩම් සම්බන්ධයෙන් පවතින ගැටලු වලට රජයෙන් මෙතෙක් විසඳුමක් ලැබී නොමැති බවයි මහ ඇමතිවරයා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාට පෙන්වා දුන්නේ.
මෙම ගැටලු විසඳා ගැනීමට බ්‍රිතාන්‍ය රජය මැදිහත් වී ශ්‍රී ලංකා රජයට බලපෑම් එල්ල කළ යුතු බවට තමන් මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව ආණ්ඩුවේ නියෝජිතයින් සමග ඒ ගැන සාකච්ඡා කිරීමට ඔහු එකඟ වූ බවයි මහ ඇමතිවරයා යාපනයේ දී මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ.
මේ අතර වවුනියාවේදී ප්‍රකාශයක් කළ මහ ඇමතිවරයා කොස්ගම හමුදා කඳවුරේ ආයුධ ගබඩාවේ පිපිරීම ගැන සලකා බලමින් යාපනයේ 'මයිලිට්ටි' හමුදා කඳවුර තුළ ඇති අවි ගබඩාව සමග එම කඳවුරම සමඟම ඉවත් කළ යුතු බව සඳහන් කළේය.
ජනතාව වෙසෙන තැන් වල අවි ගබඩා සමග කඳවුරුතබා ගැනීමෙන් ජන ජීවිත විශාල අවදානමකට වැටෙන බවයි උතුරු පළාත් සභාවේ මහ ඇමති සී.වී.විග්නේස්වරන් පෙන්වා දෙන්නේ.
යුද්ධය අවසන් වී වසර හතක් ගත වී ඇති නිසා යුද හමුදාව උතුරේ තවදුරටත් රැඳී සිටීම අනවශ්‍ය බව පෙන්වා දෙන මහ ඇමතිවරයා 'දැනට සිටින පොලිසි වලට වැඩි පොලිස් භටයන් පිරිසක් යොදවා උතුරේ වැසියන්ට ආරක්ෂාව සපයා දිය හැකි බවයි පවසන්නේ.
රටේ වත්මන් තත්ත්වය දෙස බලන විට උතුරේ දෙමළ සිසුන් සිංහල භාෂාවත්, සිංහල සිසුන් දෙමළ භාෂාවත් ඉගෙන ගැනීම අනිවාර්ය කළ යුතු බවත් සී.වී.විග්නේශ්වරන් මහ ඇමතිවරයා කියා සිටී.