'වකුගඩු රෝගය රට පුරාම ව්‍යාප්තවෙලා'

Image caption වකුගඩු රෝගය වෙණුවෙන් ජාත්‍යන්තරයෙන්,රජයෙන් මෙන්ම පෞද්ගලික අංශ වෙතින්ද ආධාර උපකාර ලැබෙමින් පවතින බවද ජනාධිපතිවරයා සදහන් කළේය.

වකුගඩු රෝගය මේ වන විට මුලු රට පුරාම ව්‍යාප්තව ඇති බවත් වසරකට අලුතින් වකුගඩු රෝගීන් පන්දහසක් රෝගීන් අතරට එක්වන බවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 12 වෙනිදා සවස වවුනියාවේදී පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ වවුනියාවේ බෝගස්වැව ගම්මානයේ වැසියන්ට පිරිසිදු පානීය ජලය ලබාදීම පිණිස නව ජලපෙරණ යන්ත්‍ර දෙකක් විවෘත කිරීමේ අවස්ථාවකට එක්වෙමිනුයි.

වවුනියවේ බෝගස්වැව ගම්මානයට පැමිණි ජනාධිපතිවරයාට ගම්මානයේ වැසියන් විසින් එහි අඩුපාඩු රැසක්ද පෙන්වා දෙන ලදී.

ජල ප්‍රශ්ණය

මෙහිදී කතාකළ ජනාධිපතිවරයා කියා සිටියේ වකුගඩු රෝගය ව්‍යාප්තවීම පිණිස ප්‍රධාන වශයෙන් බලපාන මේ රටේ පානීය ජල ප්‍රශ්ණය වසරක් ඇතුළත සම්පූර්ණයෙන්ම විසඳාලීමට පියවර ගන්න බවයි.

ඒ සඳහා ජාත්‍යන්තරයෙන්,රජයෙන් මෙන්ම පෞද්ගලික අංශ වෙතින්ද ආධාර උපකාර ලැබෙමින් පවතින බවද ජනාධිපතිවරයා සදහන් කළේය.

එදා වකුගඩු රෝගය ජනතාව විසින් හදුන්වන ලද්දේ රජරට වකුගඩු රෝගය ලෙසින් වුවත් තමන් ඊට එකඟ නොවන්නේ වකුගඩු රෝගය මේ වන විට එක් පළාතකට පමණක් සීමා වී නොමැති නිසා යැයිද කියා සිටියේය.

මේ තත්ත්වය නිසා විදේශ ආධාර මත වකුගඩු රෝගය සඳහාම පමණක් ප්‍රතිකාර කිරීමට විශේෂිත අංග සම්පූර්ණ රෝහලක් මේ වසර අගදී උතුරු මැද පළාතේදී විවෘත වන බවද ජනාධිපතිවරයා පැවසීය.

අවදානම

තමන් වකුගඩු රෝගය වෙණුවෙන් ක්‍රියාත්මක වූයේ ජනාධිපතිවරණයටත් පෙර සිට බව පෙන්වාදුන් ජනාධිපතිවරයා එදා ඒ වෙණුවෙන් ලැබුණු මුදල් වකුගඩු අරමුදල වෙත බැර කළ බවද කියා සිටියේය.

පසුගිය වර්ෂයේදී ලෝකයේ සංවර්ධනය වූ රටවල තානාපතිවරුන්ව ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා රටේ වකුගඩු රෝගයේ ඇති අවදානම පෙන්වාදීමෙන් පසුව රටවල් ගණනාවක් වකුගඩු රෝගය නිවාරණය වෙනුවෙන් හා ප්‍රතිකාර විධි සම්බන්ධයෙන් ආධාර කොට ඇති බව සඳහන් කළේය.

සංවර්ධිත රටවල් තුනක්ද ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගය තුරන් කිරීමේ කාර්යට එක්ව සිටින බව කී ජනාධිපතිවරයා දැනට සිදුකොට ඇති පර්යේෂණ වලට අනුව පානීය ජලයේ ඇති සංඝටක මෙන්ම පොහොර හා කෘෂිරසායන ද්‍රව්‍ය භාවිතය වකුගඩු රෝගය පැතිර යාමට හේතූන් බවට අනාවරණය වී ඇතැයිද පෙන්වා දුන්නේය.

කාබනික පොහොර

මේ තත්ත්වයන් ගැන සලකා බලා ගොවි ජනතාව කාබනික පොහොර භාවිතයට නැඹුරු කිරීමට තමන් උත්සහ කළ අවස්ථාවේදී ජනතාව බැණ වැදුණු නමුත් හොඳ දේ කොට බැණුම් ඇසීමට සූදානම් යැයිද ජනාධිපතිවරයා පැවසීය.

යුද සමයේදී උතුරු නැගෙනහිර පළාත්වල සිදු වුණු සිදුවීම් විස්තර කරමින් ජනාධිපතිවරයා කියාසිටියේ සියලු ජාතීන් ජාතිකත්වයකින් තොරව නගාසිටුවීමට රජය උත්සහ ගන්න බවයි. සංවර්ධන කටයුතු උදෙසා ස්ථිර රාජ්‍ය ප්‍රතිපත්තියක් ඇතිකිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බවද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වව්නියාව බෝගස්වැව ගම්මානයේදී කියා සිටියේය.

බීබීසී යෙන්