සාලාව ජන ජීවිත ගොඩනංවන බවට අගමැතිගෙන් ප්‍රතිඥාවක්

ඡායාරූප මූලාශ්‍රය, Ranil Wickremesinghe
'තක්සේරු වාර්තා ලැබුණු විට. විකල්ප දෙකක් තිබෙනවා. එකක් හමුදාව යොදා නිවාස සාදා ගැනීම. අනෙක තමන්ගේ නිවස ඉදි කර ගැනීම'
කොස්ගම සාලාව යුද හමුදා කඳවුරු සංකීර්ණයේ හට ගත් ගින්න හේතුවෙන් විපතට පත් ජනතාවගේ ජීවිත යළි නගා සිටවීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.
එම කටයුතු සඳහා ආණ්ඩුව සතුව ප්‍රමාණවත් මුදල් ඇති බවත් ඒ හේතුවෙන් රටේ වෙනත් සංවර්ධන කටයුතු සඳහා බාධාවක් එල්ල වී නොමැති බවත් අගමැතිවරයා කියා සිටියේ සාලාව ප්‍රදේශයේ සංචාරය කළ අවස්ථාවේදී.
තක්සේරු වාර්තා ලැබුණු වහාම ගින්නෙන් හානි සිදු වූ නිවාස සහ ගොඩනැගිලි සඳහා වන්දි ලබා දීමට කටයුතු කරන බවයි අගමැතිවරයා පවසන්නේ.
'ඒ තක්සේරු වාර්තා ලැබුණු විට. විකල්ප දෙකක් තිබෙනවා. එකක් හමුදාව යොදා නිවාස සාදා ගැනීම. අනෙක තමන්ගේ නිවස ඉදි කර ගැනීම.'
එතෙක් විපතට පත් ජනතාවට අවශ්‍ය පහසුකම් ලබා දී ඇති බවත් ඔහු සඳහන් කළේය.
ත්‍රිවිධ හමුදාවට විරුද්ධව ක්‍රියාත්මක වීමට ඇතැම් බලවේග උතසාහ කළත් හදිසි තත්වය හමුවේ ක්‍රියා කොට ජීවිත බේරා ගැනීම පිළිබඳ හමුදාවට ස්තුතිවන්ත විය යුතු බවයි අගමැතිවරයා පවසන්නේ.
පක්ෂ දේශපාලනයෙන් තොරව සාලාව හමුදා කඳවුර අවට විපතට පත් ජන ජීවිත යළි නගා සිටවීමට කටයුතු කරන මහජන නියෝජිතයන්ටත් සෙසු රාජ්‍ය නිලධාරීන්ටත් සිය ස්තුතිය පළ කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.