පෙරහැරට අලි මදි -දියවඩන නිලමේ: ඒක මුසාවක් -පරිසරවේදීහු

අලියා

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

'අශ්වයා කියන්නෙත් කැලේ ඉන්න සතෙක්. උන්ව ගෙනැල්ල රේස් දුවවන කොට?'

ඓතිහාසික පෙරහැර සම්ප්‍රදාය රැකගෙන යාම සඳහා හීලෑ අලි ඇතුන්ගේ හිඟයක් පවතින බව මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ දියවඩන නිලමේ පවසන නමුත් එය 'මුසාවක්' බව පරිසරවේදීහු පවසති.

දියවඩන නිලමේ නිලංග දෑලබණ්ඩාර කියා සිටියේ හීලෑ අලි පරපුර 123කට සීමා වී ඇති අතර ඇසල මාසයේ පෙරහැර කටයුතු සඳහා යොදා ගත හැකි අලි ඇතුන්ගේ ගණන 71කට සීමාවී ඇති බවයි.

ඒ අතරින් කරඬුවක් වැඩම වීම සඳහා යොදා ගත හැකි අලි ඇතුන් සිටින්නේ 'පහකටත් වඩා අඩු ප්‍රමාණයක්' බවයි දියවඩන නිලමේ ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් පරිසර රක්ෂණ භාරයේ අධ්‍යක්ෂ සජීව චාමිකර කියා සිටියේ නීති විරෝධී ලෙස ළඟ තබා ගෙන සිටි අලි පැටවුන් පිළිබඳව නීතිය ක්‍රියාත්මක වීම වැලැක්වීම සඳහා ඇතැමුන් 'අලි හිඟයක් මවා පෑමට' උත්සාහ කරන බවයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

'අලි විශාල ප්‍රමාණයක් යොදා ගන්නකොට අලි හිමියන්ට විශාල මුදලක් ගෙවීම තවත් ජාවාරමක්'

පෙරහැර සඳහා යොදා ගත හැකි අලි ඇතුන් බොහොමයක් මේ වන විට සංචාරක කර්මාන්තය වෙනුවෙන් යොදවා ඇති බවද පරිසර රක්ෂණ භාරයේ අධ්‍යක්ෂවරයා පැවසීය.

'එක පෙරහැරක අලි ඇතුන් විශාල ප්‍රමාණයක් ගෙන යාමට උත්සාහ කරනවා, තරඟයක් වගේ, වැඩිපුරම අලි ගෙන ගියේ අපේ පෙරහැරේ කියල හුවා දැක්වීම සඳහා. ඒ වැඩපිළිවෙල තුළ ගැබ් වෙලා තියෙන දෙයක් තමයි අලි විශාල ප්‍රමාණයක් යොදා ගන්නකොට අලි හිමියන්ට විශාල මුදලක් ගෙවීම තවත් ජාවාරමක් තත්වයට පරිවර්තනය වෙලා තියෙනවා.' ඔහු පැවසීය.

පෙරහැර කටයුතු සංස්කෘතික කටයුත්තකින් පරිබාහිර වී මේ වන විට ආර්ථික කටයුතක් බවට පත් වී ඇති බවයි පරිසරවේදී සජීව චාමිකර චෝදනා කරන්නේ.

නමුත් දියවඩන නිලමේ නිලංග දෑලබණ්ඩාර කියා සිටියේ පෙරහැරක සාර්ථකත්වය මනින මිනුම් දණ්ඩ බවට පත් වී ඇත්තේ පෙරහැරේ සිටින අලි ඇතුන් ප්‍රමාණය බවයි.

'අශ්වයා කියන්නෙත් කැලේ ඉන්න සතෙක්. උන්ව ගෙනැල්ල රේස් දුවවන කොට කෑ ගහන්නේ නැති මේ සත්ව සංවිධාන ඇයි මේ අලි 123ක් ගැන කෑ ගහන්නේ? වනජීවී දෙපාර්තමේන්තුවේ දත්ත අනුව කැලේ සිටින අලින් 250කට වැඩිය පසුගිය කාලයේ මැරිලා තියෙනවා. ඇයි මේ ප්‍රමාණය රැක ගන්න මේ අයට කටයුතු කරන්න බැරි?' දියවඩන නිලමේ නිලංග දෑලබණ්ඩාර ප්‍රශ්න කළේය.

නමුත් පරිසර සංරක්ෂණ භාරය පවසන්නේ 'ගෘහාශ්‍රිත අලි ඇතුන් බේරා ගැනීමට කරන අරගලයට වඩා වැඩි දැවැන්ත අරගලයක්' වන අලි වෙනුවෙන් දියත් කර ඇති බවයි.