FCIDය අහෝසි කිරීමේ 'අවදානමක්'?

'එතකොට කොරකම් කරන අයට කියන්න පුළුවන් කෝ, අපි ඇල්ලුවද කියලා. අලුතෙන් හොරකම් කරන්න හිතන් ඉන්න අයට කියන්න පුළුවන් දැන් අපිව අල්ලන්න තැනක් නැහැ කියලා' Image copyright Sunil Handunneththi
Image caption 'එතකොට කොරකම් කරන අයට කියන්න පුළුවන් කෝ, අපි ඇල්ලුවද කියලා. අලුතෙන් හොරකම් කරන්න හිතන් ඉන්න අයට කියන්න පුළුවන් දැන් අපිව අල්ලන්න තැනක් නැහැ කියලා'

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසුරුවා හැරීමේ අවදානමක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.

ප්‍රකාශයක් ලබා දීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට ගිය අවස්ථාවේ එහි නිලධාරීන් එවැනි අවදානමක් පවතින්නේ යැයි තමාට ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සඳහන් කළේ මාතර දිස්ත්‍රික් විශ්‍රාමිකයන්ගේ ඒකාබද්ධ සංවිධානයේ වාර්ෂික සමුළුව අමතමිනි.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ගේ නිල හැඳුනුම්පත අලුත් නොකිරීමේ සැලැස්මක් පවතින බවටත් තමාට විශ්වාසදායක ආරංචි ලැබී ඇති බවයි ඔහු පවසන්නේ.

එවැනි සූදානමක් පවතින්නේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට ලැබී ඇති පැමිණිලි පිළිබඳ පරීක්ෂණ පවත්වා අවසාන බැවින් දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි.

'විමර්ශන අවසාන වීමට ආසන්න වෙන කොට විමර්ශන කරන ආයතනය ඉවර කරන්න හදනවා. එතකොට හොරකම් කරන අයට කියන්න පුළුවන් කෝ, අපි ඇල්ලුවද කියලා. අලුතෙන් හොරකම් කරන්න හිතන් ඉන්න අයට කියන්න පුළුවන් දැන් අපිව අල්ලන්න තැනක් නැහැ කියලා'

පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින් සිදු කරන ලද ඉහත කී ප්‍රකාශය සම්බන්ධයෙන් බීබීසී සංදේශය රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්නගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසුරුවා හැරීමේ සූදානමක් නොමැති බවයි.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට අදාළ පරීක්ෂණ කිසිවක් නිමා වී නැති බැවින් අවශ්‍ය නම් එහි නිල කාලය තවත් දීර්ඝ කිරීමට කිසිදු බාධාවක් නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.