ළමා ලිංගික ශ්‍රමිකයන් 'අවම කිරීමට වැඩපිළිවෙළක්'

ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනී ආචාර්ය නටාෂා බාලේන්ද්‍ර Image copyright childprotection.gov.lk
Image caption ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනී ආචාර්ය නටාෂා බාලේන්ද්‍ර

ශ්‍රී ලංකාව තුළ ළමා ලිංගික ශ්‍රමිකයන් අවම කිරීම සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ළමාරක්ෂක අධිකාරිය පවසයි.

එහි පළමු පියවර ලෙස ළමුන් ලිංගික ශ්‍රමිකයන් බවට පත් වීමට බලපාන සමාජීය කරුණු පිළිබඳ සොයා බැලීම සඳහා දකුණු පළාත මුල් කර ගනිමින් පර්යේෂණයක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි ආචාර්ය නටාෂා බාලේන්ද්‍ර පවසන්නීය.

ඇය ඒ බව සඳහන් කළේ ළමා ශ්‍රමිකයන්ට එරෙහි ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

"ළමයින් ලිංගික කටයුතුවලට භාවිත කිරීම පිටු දකිමින් - ළමයින්ට ඔවුන්ගේ ලෝකය උරුම කර දෙමු," යන්න තේමාව කර ගනිමින් මේ වසරේ ළමා ශ්‍රමිකයන්ට එරෙහි ජාත්‍යන්තර දිනය සැමරීමට නියමිත බවත් ඇය සඳහන් කළාය.

Image copyright Getty Images
Image caption ළමා ලිංගික ශ්‍රමිකයන් 'අවම කිරීමට වැඩපිළිවෙළක්'

ලොව පුරා රටවල ළමා ශ්‍රමිකයන් මිලියන 215 කට ආසන්න පිරිසක් සිටින බවයි එක්සත් ජාතීන්ගේ වාර්තාවල දැක්වෙන්නේ.

2008 වසරේ සිදු කරන ලද සංගණනයකට අනුව ශ්‍රී ලංකාව තුළත් ළමා ශ්‍රමිකයන් ලක්ෂයකට අධික පිරිසක් සිටින බව හෙළි වී ඇති බවත් සභාපතිනිය සංදේශයට කියා සිටියාය.

එම පිරිසෙන් අඩක් පමණ ඉතාමත් දුෂ්කර, ළමුන්ට දැඩි හානි ගෙන දෙන විවිධ රැකියාවල යෙදී ඇති බවත් ආචාර්ය නටාෂා බාලේන්ද්‍ර පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ ළමා ශ්‍රමිකයන් පිළිබඳව පසුගිය වසරේ සිදු කරන ලද සංගණනයේ වාර්තා තවමත් එළිදක්වා නොමැති නමුත් ඉහත කී ළමා ශ්‍රමිකයන් සංඛ්‍යාව අඩු මට්ටමකට ළඟා වී ඇතැයි බලාපොරොත්තු වන බවත් සභාපතිනිය සඳහන් කළාය.

ළමා ශ්‍රමිකයන් සංඛ්‍යාව ශූන්‍ය අගයක් කරා ගෙන ඒමට දිස්ත්‍රික්ක පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බවත් ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනී ආචාර්ය නටාෂා බාලේන්ද්‍ර වැඩිදුරටත් පැවසීය.