'නීති විරෝධී අලි': මහාධිකරණය තිලිණගේ ඇප අත්හිටුවයි

'නීති විරෝධී අලි': හිටපු විනිසුරු තිලිණගේ ඇප නියෝගය අත්හිටුවයි Image copyright Getty Images
Image caption සංරක්ෂිත ඡායාරූපයක්

නීති විරෝධී ලෙස අලි පැටවකු ළඟ තබා ගත් බවට චෝදනා ලැබ සිටින හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ඇප මත මුදා හරිමින් නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා ලබා දුන් නියෝගය වළකාලමින් කොළඹ මහාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කොට තිබේ.

මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක විසින් ඉහත කී තහනම් නියෝගය නිකුත් කරනු ලැබුවේ නීතිපතිවරයා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

නීතිපතිවරයා පවසන්නේ බලපත්‍ර නොමැතිව අලි පැටවෙකු ළඟ තබා ගැනීමේ චෝදනා මත අධිකරණය හමුවට ඉදිරිපත් වූ හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේට ඇප නියම කිරීමේදී නුගේගොඩ මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න නීතිය අවභාවිතයට ලක් කරමින් මහජනයා තුළ සැකයක් මතු වන ආකාරයෙන් කටයුතු කොට ඇති බවයි.

අදාළ චෝදනාව සම්බන්ධයෙන් ඇප නියම කිරීමට මහේස්ත්‍රාත්වරයාට බලයක් නොමැති බව ප්‍රකාශ කළ රජයේ නීතිඥවරයා ඇප කොන්දේසි සපුරාලීමට පෙර සැකකාර තිලිණ ගමගේට අධිකරණයෙන් බැහැර වීමට අවසර සලසා දීම දැඩි ලෙස හෙලා දකින බවත් ප්‍රකාශ කළේය.

ඇප ලබා දීමේදී මහේස්ත්‍රාත්වරයා ක්‍රියාකර ඇති ආකාරය ගැට‍ළු සහගත බැවින් ඉහත කී තහනම් නියෝගය නිකුත් කිරීමට මහාධිකරණය තීන්දු කළ බවයි අලි ඇතුන්ගේ සුරක්ෂිත භාවය වෙනුවෙන් පෙනී සිටින පාර්ශවයේ නීතිවේදියෙකු වන නාමල් රාජපක්ෂ කියා සිටියේ.

නඩු විභාගය වැඩිදුර විමසීම ජුනි 22 වනදා දක්වා කල් තැබුණු බවයි කේඑස් උදයකුමාර් සංදේශයට වාර්තා කළේ.

එදිනට අධිකරණයේ කරුණු දක්වන මෙන් සැකකාර හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ඇතුළු පිරිසකට අධිකරණය නොතිසි නිකුත් කොට තිබේ.

හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස නීතිපතිවරයා කර ඇති ඉල්ලීම පිළිබඳ එදින සලකා බලන බවත් මහාධිකරණය ප්‍රකාශ කළේය.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර