ඇමතිවරුන්ට සැප වාහන ලබාදීම නතර කරන්නේ නැහැ -රාජිත

රාජිත සේනාරත්න Image copyright Getty Images
Image caption 'අමාත්‍යවරු වශයෙන් අපට මුළු රට පුරාම ඇවිදින්න වෙනවා. යුරෝපයේ ඇමතිවරු කොහෙවත් ඇවිදින්නේ නැහැ.'

අමාත්‍යවරුන් සඳහා අලුතින් වාහන මිලදී ගැනීම තාවකාලිකව නතර කර ඇතත් එම වැඩ පිළිවෙල ඉදිරි කාලයෙහි ක්‍රියාත්මක කෙරෙන බව කැබිනට් සම ප්‍රකාශක සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න පවසයි.

ඇමතිවරුන් සඳහා අලුතින් මෝටර් රථ මිලදී ගැනීමේ යෝජනාව සාධාරණීකරණය කරන සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න 'ශ්‍රී ලංකාවේ අමාත්‍යවරුන්ට අමාත්‍යංශ මෙහෙය වීමේ භාර ධුර වගකීමට අමතරව තම දිස්ත්‍රික්ක වල කටයුතු පිළිබඳ වගකීම ද පැවරී ඇති බැවින් රට පුරා සංචාරය කිරීමට සිදු වන බවයි ' බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් පෙන්වා දුන්නේ.

'දිස්ත්‍රික්කයක් පුරා ගමන් කරනවා කියන කාරණය ලේසි පහසු දෙයක් නොවෙයි. අනෙක් කාරණය අමාත්‍යවරු වශයෙන් අපට මුළු රට පුරාම ඇවිදින්න වෙනවා. යුරෝපයේ ඇමතිවරු කොහෙවත් ඇවිදින්නේ නැහැ. ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශ තිබෙනවා ෆෝ වීල් නැතුව යන්න බැරි' සෞඛ්‍ය ඇමතිවරයා පවසයි.

වෙනත් රටවල අමාත්‍යවරුන් සහ ශ්‍රී ලංකාවේ අමාත්‍යවරුන් සංසන්දනය කරමින් ඇතැමුන් කරන ප්‍රකාශ කෙතරම් ප්‍රායෝගික දැයි අමාත්‍යවරයා ප්‍රශ්න කරයි.

'සුඛෝපභෝගී නැහැ'

'මේ රටට ඇමතිවරු විස්සයි, එහෙම නම් මේ පුංචි රටට දහයයි කියලා, සමහරු කියනවා. නමුත් ඒ රටට විස්ස නම් මේ රටට දෙසීයක්වත් අවශ්‍යයි. මළ ගෙදර, මඟුල් ගෙදර, කොටහළු මඟුල් ගෙදර වැනි ගමන් තිබෙන සංස්කෘතියක් යටතේ මේ රටේ ඇමතිවරු ක්‍රියා කරන්නේ'

සිය අවශ්‍යතාවයන්ට ගැළපෙන මෝටර් රථ සුඛෝපභෝගී වාහන ලෙස හැඳින්වීම නිවැරදි නොවන බවත් ඔහු සඳහන් කළේය.

'මේ රටේ සුඛෝපභෝගී වාහන හඳුන්වන ඒවා අනෙක් රටවල සුඛෝපභෝගී නැහැ. ඩොලර් එක වැඩි වීමත් බදු ගැසීමත් නිසා සුඛෝපභෝගී වෙලා තිබෙන්නේ'. (බීබීසී සංදේශයට සවන්දෙන්න)

සාලාව හමුදා කඳවුරේ ගින්න හේතුවෙන් අවතැන් වූ ජනයාට සහන සැලසීමෙන් අනතුරුව අමාත්‍යංශ සඳහා අවශ්‍ය වාහන මිළදී ගන්නා ලෙස අගමැතිවරයා දන්වා ඇති බවයි රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න වැඩිදුරටත් කියා සිටියේ.

අමාත්‍යාංශ විසි දෙකකට අයත් ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමතිවරු තිස් දෙනකු වෙනුවෙන් අලුතින් වාහන තිස් දෙකක් මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 118 කට අධික මුදලක් ඉල්ලා පරපුරක ඇස්තමේන්තුවක් රජය විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර