කසල බුදින මත වරනිඳු; තුමුල බලයේ පරිහාණිය

සේරුවිල පාරේ කසළ බුදින අලි
ශ්‍රී ලංකාවේ අලි සම්පත අද මුහුණ දී ඇති අවාසනාවන්ත ඉරණම කන්තලේ ප්‍රාදේශීය සභාවට අයත් සේරුවිල මාර්ගයේ නවය කණුව වන ගැබ මායිම අසලට යන කෙනෙකුට දැක ගත හැකි වෙයි.
මහත් අභිමානවත් වන සතකු වන අලි ඇතුන් කුස ගින්න සඳහා කුණු කසල බුදින ආකාරයයි එහි ගිය විට දක්නට ලැබෙන්නේ.
කන්තලේ ප්‍රාදේශීය සභාව විසින් එම ස්ථානයට මුදා හරින කුණු කසල වලින් කුස පුරවා ගැනීමට එන කපුටන් සුනඛයන් සහ ගවයන් අතර ගැවසෙන සද්දන්තයන් එම කසල ගොඩ වල ඇති පොලිතින් ,ප්ලාස්ටික් ඇසුරුම් සහ බෝතල් කටු පවා බුදින බවයි බීබීසී සංදේශය වෙනුවෙන් එහි ගිය ප්‍රාදේශීය මාධ්‍යවේදී ආර්.ජී.ධර්මදාස පවසන්නේ.
වල් ඌරන් බල්ලන් සහ කපුටන් වැනි සතුන් කෑමට ගන්නා ඕනෑම දෙයක් එම සතුන් සමඟ එක්ව කා දැමීමට අලින්ද පුරුදු වී ඇති බවයි ඔහු සඳහන් කළේ.

මහමග නිදැල්ලේ
ආහාර හිඟයෙන් පීඩා විඳින සෝමාවතී වන අඩවියේ සැරිසරන වන අලි එම කුණු කන්ද අසලට ලඟා වීමේ දී අනාරක්ෂිත මට්ටමින් නිදහසේ මහා මාර්ගයේ ගමන් ගන්නා බවත් ආර්.ජී ධර්මදාස පවසයි.
වන විනාශය නිසා අලි ඇතුන්ට ආහාර හිඟ වීමත් මිනිසුන් විසින් කුණු කසල පාලනයකින් තොරව විවෘත ස්ථාන වල හෙලනු ලැබීමත් මෙවැනි ව්‍යසන වලට හේතු වන අතර එවැනි අපද්‍රව්‍ය ආහාරයට ගැනීමෙන් ගවයන් සහ අලි ඇතුන් අකාලයේ මියැදෙන බවත් වන ජීවී නිලධාරීහු පෙන්වා දෙති.