අලුත්ගම ගැටුමෙන් පහර කෑ තරුණයාගෙන් පොලිසිය සමාව අයදියි

2014 වසරේ අලුත්ගම ප්‍රදේශයේ ඇතිවූ ජාතිවාදී ගැටුම් වලදී මුස්ලිම් ජාතික තරුණයෙකු ප්‍රදේශයේ විහාරස්ථානයකට ගෙන ගොස් දරුණු ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පහර කෑ පෙත්සම්කරුගෙන් සමාව ඉල්ලා සිටියේය.

සිංහල ජාතික කාන්තාවකට අවමන් කළේ යැයි සිංහල ජාතිකයින් පිරිසක් තමා ප්‍රදේශයේ විහාරස්ථානයකට රැගෙන ගොස් දරුණු ලෙස පහර දුන් බව පෙත්සම ගොනු කළ මොහොමඩ් අමීර් අධිකරණයට පැවසීය.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ බොදුබල සේනා සංවිධානයේ මැදිහත් වීමෙන් අලුත්ගම ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවට එරෙහිව ප්‍රචණ්ඩකාරී ක්‍රියාකාරකම් දියත් කළ අවස්ථාවේදී ඔහු මෙම පහර කෑමට ලක් වූ බවයි.

ඉන්පසුව තමන් අලුත්ගම පොලිසියට භාර දුන් බවත් පොලිසිය තමාට එරෙහිව මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් බවට චෝදනා කරමින් ව්‍යාජ නඩුවක් ගොනුකළ බවද පෙත්සම්කරු අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

මේ තුළින් සිය මුලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ.

අද පෙත්සම කැදවූ අවස්ථාවේදී රජයේ නීතිවේදියා කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පෙත්සම්කරුගෙන් සමාව ඉල්ලා සිටීමට සුදානම් බවයි.

අදාළ ඉල්ලීමට පෙත්සම්කාර පාර්ශවය එකඟතාව පල කළ අතර ඉන් පසුව අගවිනිසුරුවරයා ඉදිරියේ අලුත්ගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා පෙත්සම්කරුගෙන් සමාව ඉල්ලා සිටීමට ක්‍රියා කළේය.

ඊට අමතරව පොලිසිය විසින් පෙත්සමක්රුට එරෙහිව ගොනුකළ නඩුව ඉල්ලා අස්කර ගන්නා බව අදාළ පොලිස් නිලධාරියා විසින් ශ්‍රේෂ්ධාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දුන් බවයි පෙත්සම්කාර පාර්ශවයේ නීතිවේදී රුස්දී හබිබ් ප්‍රකාශ කළේ.