ලන්ඩනයේදී ජය දද නැංවූ ලාංකීය මෝස්‌තර ශිල්පියා

ලන්ඩනයේදී ජය දද නැංවූ ලාංකීය මෝස්‌තර ශිල්පියා

ලන්ඩන් නුවර පැවති මෝස්‌තර නිර්මාණ ශිල්පය පිළිබඳ උපාධිධාරීන්ගේ මෝස්‌තර නිර්මාණ ශිල්පීන්ගේ සතියේදී එක් අංශයක ජයග්‍රහණය හිමිකරගැනීමට ශ්‍රී ලාංකික මෝස්‌තර නිර්මාණ ශිල්පියෙකු වන අමේෂ් විජේසේකර සමත් වී තිබේ.

පැරිස් නගරය, මිලාන්, ජපානය, ඉන්දියාව, චීනය සහ තායිවානය ඇතුළු ලෝකය පුරා මෝස්‌තර නිර්මාණ අධ්‍යයන ආයතන රාශියක නිර්මාණ ශිල්පීන් සහභාගි වූ මෝස්‌තර නිර්මාණ සතියේදී "ඉන්ටර්නැෂනල් කැට් වෝක්" අංශයෙනුයි, ඔහුට ජයග්‍රහණය හිමි වී තිබෙන්නේ.

ලන්ඩන් මෝස්‌තර නිර්මාණ තරඟයට නිර්මාණ ඉදිරිපත් කිරීමට ලැබීම පමණක් වුවද භාග්‍යයක් බව පවසන අමේෂ් විජේසේකර, මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට මෙන්ම පොදුවේ සමස්ථ ශ්‍රී ලංකාවටම කීර්තියක් ගෙනදුන් බව සඳහන් කළේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

'මෝස්‌තර නිර්මාණ ශිල්පය පිලිබඳ උපාධිධාරීන්ගේ සතිය' මෙවර සිය විසි පස් වැනි සංවත්සරය සැමරීය.

ශ්‍රී ලංකාව වැනි මෝස්‌තර නිර්මාණ ශිල්පය ඉහළ මට්ටමින් අධ්‍යයනය කිරීමට අවස්ථාවක් නැති රටක ඉපිද තමන් පැමිණි ගමන් මග පිළිබඳව ඔහුට තිබෙන්නේ ආත්ම අභිමානයක්.

ගොඩනැගිලි අලංකරණය පිළිබඳ නිර්මාණ ශිල්පිනියක වන තම මව සහ පවුලේ වෙනත් සාමාජිකයන් ගෙන් ලද ආභාෂය මත මෝස්‌තර නිර්මාණකරණයට යොමු වූ අමේෂ්, මෙම ජයග්‍රහණයත් සමගම ශ්‍රී ලංකාවේ බතික් කර්මාන්තය ඇතුළු සම්ප්‍රදායික ඇඟලුම් ක්ෂේත්‍රය අනාගතයේ දී ලෝකයට හඳුන්වාදීම සිය අපේක්ෂාව බවත් සංදේශයට පැවසීය.